Update 7.15 pm
ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය හමුවීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පැමිණි අතර, එහිදී සංඝරත්නය විසින් උන්වහන්සේලාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාරදීම සිදු කළ බව වාර්තා විය.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර, ඊට අදාළ පිළිතුරක් ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා එහිදී ප්රකාශ කර ඇත.
Update 6.15 pm
දැඩි වර්ෂාව මධ්යයේ දින හයක් පුරා පැමිණි 'නිදහසේ පාද යාත්රාව' අද (ඔක්තෝබර් 15 වන බ්රහස්පතින්දා) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අබියසට ළඟා වීමත් සමඟ එම පරිශ්රයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් අඛණ්ඩව ඉදිරියට ඇදුණු මෙම විරෝධතා පාගමන මේ වන විට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි.
හයවැනි දිනටත් ක්රියාත්මක වූ පාද යාත්රාව අද දිනයේ කඩවත නගරයෙන් ආරම්භ වී අයහපත් කාලගුණය ද නොතකා කොළඹ දක්වා ගමන් කළේය. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණෙන අවස්ථාව වන විටත් එහි දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු අතර, මේ වන විට මහා සංඝරත්නය ප්රමුඛ විරෝධතාවයට එක්ව සිටින පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිරිත් සජ්ඣායනයක නිරත වෙමින් සිටිති.
ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු උන්වහන්සේගේ සිවුරු ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ ආගමික නායකයින් දැඩි කනස්සල්ල පළ කර තිබිණි. මෙම පසුබිම මත, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට රජය මේ වන විටත් යෝජනා කර ඇත. එම සංශෝධන හරහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලාට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත් කරුණු සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී සිවුරු හැඳීමට අවසර හිමිවනු ඇත.
කෙසේ වෙතත්, බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමේ රජයේ තීරණයෙන් පමණක් සෑහීමට පත් නොවූ විරෝධතාකරුවෝ ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබා දිය යුතු බව අවධාරණය කරති. ජනාධිපති ලේකම් කාර්යාලය අබියසට පැමිණ අඛණ්ඩව ක්රියාත්මක වන මෙම විරෝධතාව, ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මතුව ඇති ඉල්ලීම් තවදුරටත් තීව්ර වී ඇති බව පෙන්නුම් කරයි.
