නීතිවිරෝධී මත්පැන් සොයා නිවසක් වැටලූ පොලිස් කණ්ඩායමකට, වසර හයකට අධික කාලයක් තිස්සේ මෙට්ටයක් යට සඟවා තිබූ අපූරු රහසක් අනාවරණය කරගැනීමට හැකිවී තිබේ. ඒ ජනතාවට බෙදීමට නියමිතව තිබූ දහසකට අධික ලිපි තොගයකි.
හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලියුම් බෙදන්නකුගේ නිවසේ කසිප්පු ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව එම නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇත.
නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබූ මෙට්ටයක් යට ගොඩගසා තිබූ විශාල ලිපි තොගයක් පොලීසිය විසින් සොයාගනු ලැබීය. එහි සමස්ත ලිපි 2078ක් තිබී ඇති අතර, ඒ අතර ලියාපදිංචි කළ ලිපි 12ක් සහ සාමාන්ය තැපෑලට අයත් ලිපි විශාල ප්රමාණයක් වූ බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකාර තැපැල් සේවකයා හල්දුම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී පොලීසියට අනාවරණය වී ඇත්තේ, මෙම ලියුම් බෙදන්නා වසර හයකට අධික කාලයක් තිස්සේ අදාළ ලිපි බෙදීමක් සිදු නොකර මෙලෙස සිය නිවසේ මෙට්ටය යට සඟවාගෙන සිට ඇති බවයි.