trincomalee-lodging-house-owner-nimal-kosgolla-murdered

ත්‍රිකුණාමලය සිංහපුර ප්‍රදේශයේ රාත්‍රියේ පැවති නිහැඬියාව බිඳ දමමින් ඊයේ (20) අමානුෂික ඝාතනයක් වාර්තා විය. ඒ, කිසිදු නවාතැන්කරුවෙකු නොමැතිව තනිවම සිටි නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ පුවතයි.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය සිංහපුර ප්‍රදේශයේම පදිංචිව සිටි බී.කේ. නිමල් කොස්ගොල්ල නැමැති අවිවාහක ව්‍යාපාරිකයෙකි. වාර්තා වන තොරතුරුවලට අනුව ඔහු 55-56 හැවිරිදි වියේ පසුවූවෙකි.

ත්‍රිකුණාමලය පොලිස් වසමේ 04 කණුව හන්දිය ප්‍රදේශයේ පිහිටි මෙම නවාතැන්පොළ තුළ ඊයේ රාත්‍රියේ අපරාධය සිදුවන අවස්ථාවේදී ඔහු එහි සම්පූර්ණයෙන්ම හුදෙකලාව සිට ඇත. ඝාතනයට පැමිණි පුද්ගලයා හෝ කණ්ඩායම විසින් මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව, මියගිය පුද්ගලයාගේ ගෙල බැඳි රන් මාලය ද රැගෙන ගොස් ඇති බව පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.




කෙසේ වෙතත්, මෙම කෲර ඝාතනයට සැබෑ හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්වූ නිවාඩු නිකේතන හිමිකරුගේ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබූ අතර, ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යාමට නියමිත බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.