තත්පර කිහිපයක අත්වැරදීමකින් ලියැවුණු ෆේස්බුක් සටහනක් සහ ඉන් විනාඩි දහයකට පසු එය මකා දමා පළ කළ සමාව අයැදීමේ වීඩියෝවක් අතර දෝලනය වූයේ විසිහත් හැවිරිදි ශ්රී ලාංකික තරුණයෙකුගේ ජීවිතයයි. සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි අනෝජන් සිවරාසාට එරෙහිව එරට අභියාචනාධිකරණය විසින් පනවා තිබූ මරණ දණ්ඩනය මේ සතියේදී සෞදි ශ්රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්රභ කරනු ලැබුවේ, ශ්රී ලංකාවෙන් ගිය නීතිඥ කණ්ඩායමක් සහ රාජ්ය තාන්ත්රික නිලධාරීන්ගේ දැවැන්ත මෙහෙයුමක ප්රතිඵලයක් වශයෙනි.
ඔහුගේ ජීවිතය බේරාගැනීමේ ප්රධාන හැරවුම් ලක්ෂ්යය බවට පත්වූයේ, මුල් නඩු විභාගයේදී ඔහු විසින් ලබා දුන්නා යැයි කියන පාපොච්චාරණයේ අඩංගු වූ වචන කිහිපයක පැවති "අපැහැදිලිභාවයයි".මෙම අවාසනාවන්ත සිදුවීම් මාලාව ආරම්භ වන්නේ පසුගිය ජුනි 28 වැනිදාය. එදින රාත්රී 10.00 ට පමණ ෆේස්බුක් සමාජ මාධ්ය ජාලයේ ඇති වූ වචන හුවමාරුවක් අතරතුර, අනෝජන් විසින් මුහම්මද් නබිතුමාට දැඩි ලෙස අපහාස වන අන්දමේ සටහනක් පළ කර තිබුණි. මිනිත්තු දහයක් ඇතුළත ඔහු එය මකා දමා සමාව අයැදීමේ වීඩියෝවක්ද නිකුත් කළ නමුත්, ජූලි 2 වැනිදා සෞදි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. ජූලි 14 වැනිදා නඩුවක් ගොනු කෙරුණු අතර, ජූලි 26 වැනිදා එය සෞදි අරාබියේ රජයේ අභිචෝදකවරයා වෙත යොමු කෙරුණි.
පසුදින, එනම් ජූලි 27 වැනිදා අල්-අහ්සා අපරාධ අධිකරණයේ දෙවන පරිපථය හෙවත් ෂරියා නීතිය සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් විභාග කරන මුල් අවස්ථා අධිකරණයක් හමුවට ඔහුව කැඳවනු ලැබීය. ඒ වන විට කිසිදු නීතිමය සහායක් ලබා නොතිබූ අනෝජන්, ශ්රී ලංකා තානාපති කාර්යාලය හෝ සම්බන්ධ කරගෙන නොතිබූ අතර ඔහු අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. නිල ලේඛනවලට අනුව ඔහුට එරෙහිව ෂරියා නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි මුහම්මද් නබිතුමාට අපහාස කිරීම, ආගමික වටිනාකම් පළුදු වන අන්දමේ තොරතුරු අන්තර්ජාලය හරහා ප්රචාරය කිරීම සහ සයිබර් අපරාධ විරෝධී නීතියේ 6 වැනි වගන්තිය යටතේ චෝදනා ගොනු කර තිබුණි. ජූලි 28 වැනිදා ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක (ශ්රී ලංකා රුපියල් මිලියන 262.6 ක) දැවැන්ත දඩයක් නියම විය. ඔහුගේ දුරකථනය රාජසන්තක කර ෆේස්බුක් ගිණුමද වසා දැමුණි. රියාද් නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලය මෙම සිදුවීම පිළිබඳව මාධ්ය වාර්තා මගින් දැනගෙන මැදිහත් වන්නේ ඉන් අනතුරුවය.
අනතුරුව අනෝජන් විසින් නැගෙනහිර පළාත් අභියාචනාධිකරණයේ 7 වන අපරාධ පරිපථය වෙත තමන්ට නියම වූ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර, රජයේ අභිචෝදකවරයාද දඬුවම ප්රමාණවත් නොවන බවත් එය අනෙකුත් අයටද පාඩමක් විය යුතු බවත් පවසමින් අභියාචනයක් ගොනු කළේය. ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ලබාදුන් නීතිඥයෙකු සමග අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අනෝජන්, තම මුල් පාපොච්චාරණය පිළිගනිමින් තමන්ට අලුතින් යමක් එකතු කිරීමට නොමැති බව ප්රකාශ කළේය. සැප්තැම්බර් 17 වැනිදා අභියාචනාධිකරණය විසින් තීන්දුව ප්රකාශයට පත් කරමින් ඔහුගේ දඬුවම "හද්" (Hadd) දඬුවමක් දක්වා වෙනස් කරමින් අනෝජන්ට මරණ දණ්ඩනය නියම කළේය. සාම්ප්රදායික ඉස්ලාමීය ෂරියා නීතියට අනුව 'හද්' යනු දෙවියන් වහන්සේගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිශ්චිත බරපතල අපරාධ සඳහා නියම කෙරෙන අනිවාර්ය දඬුවමකි. අල් කුර්ආනය හෝ නබිතුමාගේ සම්ප්රදායන් මත පදනම් වූ මෙම දඬුවම් ලිහිල් කිරීමට හෝ සමාව දීමට විනිසුරුවරුන්ට බලයක් නොමැති අතර සෞදි රජුට පවා සමාව දිය නොහැක. එය ක්රියාත්මක කිරීම සඳහා සෘජු පාපොච්චාරණයක් හෝ ඇසින් දුටු සාක්ෂි අවශ්ය වන අතර, සාධාරණ සැකයක් පවතින්නේ නම් එය ක්රියාත්මක කළ නොහැක.
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතාගේ ප්රධානත්වයෙන් යුත් තානාපති කාර්යාල නිලධාරීන් සහ ජෙඩා සිට පැමිණි කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඇතුළු පිරිස කඩිනම් රාජ්ය තාන්ත්රික මෙහෙයුමක් ආරම්භ කළහ. ඒ සමගම ශ්රී ලංකාවෙන් නීතිඥ කණ්ඩායමක්ද ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා සෞදි අරාබියට පැමිණියහ. ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවවි සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායමේ පෞද්ගලික නීතිඥවරුන් සියලු වියදම් දරාගෙන ස්වේච්ඡාවෙන් අනෝජන් වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි.
"තානාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ නොපසුබස්නා උත්සාහය සහ අපගේ නීතිමය මැදිහත්වීම මත මෙම ප්රතිඵලය ලබාගැනීමට හැකිවුණා," යැයි නීතිඥ හෆීල් ෆාරිස් මහතා සඳහන් කළේය. අභියාචනාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායම ප්රබල කරුණු කිහිපයක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළහ. පළමුවැන්න වූයේ සයිබර් අපරාධයක් වෙනුවට එය 'හද්' වරදක් ලෙස අභියාචනාධිකරණය විසින් වෙනස් කරන විට, තමන් පාපොච්චාරණය කරන්නේ මරණ දණ්ඩනය හිමිවන 'හද්' වරදකට බව අනෝජන්ට දැනුම් දී නොතිබීමයි. සෞදි අපරාධ නඩු විධාන සංග්රහයේ 158 වැනි වගන්තියට අනුව චෝදනාවේ ස්වභාවය සෑමවිටම විත්තිකරුට දැනුම් දිය යුතු වුවත්, අභියාචනාධිකරණයේදී එය සිදුවී නොතිබුණි. 'හද්' දඬුවමක් දීමේදී වරද මෙන්ම නීතියද කිසිදු අපැහැදිලිභාවයකින් තොර විය යුතු බව නීතිඥවරු තර්ක කළහ.
අනෝජන්ගේ මුල් පාපොච්චාරණයේ ඇති අපැහැදිලිභාවය පෙන්වා දීමට ඔවුන් අපූරු තර්කයක් ගොඩනැගූහ. අල්-අහ්සා අධිකරණයේ සටහන් වී තිබූ අරාබි පාපොච්චාරණයේ සඳහන් වූයේ ඔහු "අපගේ මුහම්මද් නබිතුමාට" අපහාස කළ බව පිළිගන්නා බවයි. අනෝජන් හින්දු භක්තිකයෙකු බැවින් කිසිවිටෙකත් ඔහු "අපගේ නබිතුමා" යන වචනය භාවිත නොකරන බවත්, එය ඔහුගේ පරිවර්තකයාගේ වචන බවත් නීතිඥවරු පෙන්වා දුන්හ. එසේම ඉස්ලාමීය ෂරියා නීතියේ එන ෂාෆි, හනෆි, මාලිකි සහ හන්බලි යන ප්රධාන ගුරුකුල හතරෙන් නබිතුමාට අපහාස කරන මුස්ලිම් නොවන අයෙකුට මරණ දඬුවම ලබාදිය යුතු බවට 13 වැනි සියවසේ සිටි හන්බලි ගුරුකුලයේ එක් විද්වතෙකු පමණක් පවසා ඇති බවත්, අනෙක් ගුරුකුල තුනම ඊට එකඟ නොවන බවත් ඔවුහු පැහැදිලි කළහ. නබිතුමාගේ ඉගැන්වීම්වලද තමන්ට අපහාස කළ අයට සමාව දුන් අවස්ථා උදාහරණ සහිතව ඔවුහු අධිකරණයට ඉදිරිපත් කළහ. එසේම සයිබර් අපරාධ නීතිය යටතේ ආගමික අපහාස සඳහා නිශ්චිත ප්රතිපාදන තිබියදී අභියාචනාධිකරණය ෂරියා නීතියට යොමුවීම පිළිබඳවද ඔවුහු ප්රශ්න කළහ.
ඔක්තෝබර් 11 වැනිදා අන්තර්ජාලය ඔස්සේ ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කෙරුණු අතර (මේ සඳහා තානාපති කාර්යාලය විසින් ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන යටතේ නව නීතිඥවරයෙකු යොදවා තිබුණි), දින දෙකකට පසු ඔක්තෝබර් 13 වැනිදා රාත්රියේ අභියාචනාධිකරණ තීන්දුව නිශ්ප්රභ කළ බවට නීතිඥ කණ්ඩායමට දැනුම් දෙනු ලැබීය. මේ අනුව අනෝජන්ට පනවා තිබූ මරණ දණ්ඩනය ඉවත් වූ නමුත්, මුල් අධිකරණයේ තීන්දුව ඇතුළු මීළඟ නීතිමය පියවරයන් කුමක්ද යන්න තවමත් පැහැදිලි කරගත යුතුව පවතින බව ෆාරිස් මහතා පැවසීය.
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම අවසන් කර මව්බිමට පැමිණීමද නීතිඥ කණ්ඩායමට විශාල අභියෝගයක් විය. ඔක්තෝබර් 8 වැනිදා රියාද් ගුවන් තොටුපළට එල්ල වූ ප්රහාරයන් හේතුවෙන් ජාත්යන්තර ගුවන් ගමන් අත්හිටුවා තිබුණි. ඔක්තෝබර් 10 වැනිදා රියාද් දේශීය පර්යන්තයෙන් ජෙඩා බලා පිටත්ව ආ නීතිඥ හෆීල් ෆාරිස් එතැනින් කොළඹ බලා පැමිණි අතර, ඉන් පැය කිහිපයකට පසු එම ජෙඩා බලා යන පර්යන්තයටද ප්රහාරයක් එල්ල විය. ඉන් මගීන් දහසය දෙනෙකු මියගොස් 300 කට අධික පිරිසක් තුවාල ලැබූහ. කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් හදිසි වීසා ලබාගෙන මාර්ගය ඔස්සේ කටාර්හි දෝහා නුවරට පැමිණ ඉන් අනතුරුව කොළඹට පැමිණීමට සමත් වූහ. එක් ජීවිතයක් වෙනුවෙන් දියත් කළ දැවැන්ත නීතිමය සටන නිමා වූයේ තවත් ජීවිත ගණනාවක් අනූනවයෙන් බේරීයාමේ ත්රාසජනක අත්දැකීමක්ද ඉතිරි කරමිනි.