the-speeding-bowser-which-had-no-brakes-swerved-to-save-the-bus-and-overturned

මහනුවර - යාපනය ඒ 09 ප්‍රධාන මාර්ගයේ අකුරණ, 7 කණුව කුරුගොඩ හන්දිය ප්‍රදේශය ඊයේ උදෑසන 10.30 ට පමණ එකවරම ගිලගත්තේ මහත් බිහිසුණු තත්ත්වයකිනි. අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ යෝධ සිමෙන්ති බල්කර් රථයක තිරිංග ක්‍රියාවිරහිත වීමත් සමග, පාලනයෙන් තොර වූ එම රථය ත්‍රිරෝද රථ තුනක්, යතුරුපැදි දෙකක් සහ ලොරි රථ දෙකක් යට කරගෙන ගොස් වෙළෙඳසැලකට ද කඩා වැදී පෙරළී ගියේය.

මෙම අනතුරින් ජීවිත හතරක් අහිමි වූ අතර තවත් කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදු විය.




අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 සහ 51 යන වයස්වල පසුවූ අලවතුගොඩ සහ අකුරණ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙන්ම, අවුරුදු 16 සහ 28 යන වයස්වල පසුවූ මාතලේ සහ අකුරණ ප්‍රදේශවල පදිංචි තරුණියන් දෙදෙනෙකි. අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන්, යුද හමුදාව සහ පොලිසිය එක්ව වාහනවලට යටවී සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර තිබුණි. තුවාල ලැබූවන් අතරින් හයත් හතත් අතර පිරිසක් මේ වන විට මහනුවර සහ අකුරණ රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වන අතර, ඉන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දෙදෙනාගේම පාද අහිමි වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් 46 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බල්කර් රථයේ රියදුරු අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තිරිංග බිඳ වැටීමත් සමග රථය පාලනයෙන් තොරව වේගයෙන් ඉදිරියට ඇදී ගිය බවත්, ඒ වන විට මාතලේ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටුණහොත් විශාල ජීවිත හානියක් සිදුවිය හැකි බැවින් තමා රථය වෙනත් පසෙකට හැරවූ බවත් රියදුරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. එහිදී රථයේ පැවති බර හේතුවෙන් එය පෙරළී ගොස් ඇති බව ඔහුගේ සටහනේ දැක්වේ. සැකකාර රියදුරු අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




අනතුර සියැසින් දුටු ප්‍රදේශවාසීන් පවසන ආකාරයට, විශාල ශබ්දයක් ඇසී ඔවුන් දිව එන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. ඉහළ කන්දේ සිට තිරිංග නොමැතිව රථය නතර කර ගැනීමට උත්සාහ කරමින් පැමිණ ඇති බවත්, අවසානයේ වාහන කිහිපයක් යට කරගෙන ගොස් පහළට පෙරළී ඇති බවත් එක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් විස්තර කළේය. අකුරණ 7 කණුව ප්‍රදේශය පටු මාර්ගයක් සහිත පල්ලමක් පවතින අනාරක්ෂිත ස්ථානයක් වන අතර, මීට පෙර ද මෙවැනි මාරාන්තික අනතුරු රැසක් එහි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු දැඩි ආවේගයෙන් යුතුව පෙන්වා දෙති. බර වාහන වල තිරිංග ක්‍රියාවිරහිත වීම මෙහි සුලබව සිදුවන බැවින් වේග බාධකයක් හෝ ආරක්ෂිත පියවරක් යොදන ලෙස කොතෙක් ඉල්ලා සිටියද බලධාරීන් ඊට පියවර ගෙන නොමැති බවට ඔවුහු චෝදනා කරති.

මියගිය සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර රෝහලේදී සිදු කර මේ වන විට දේහයන් ඥාතීන් වෙත භාර දී තිබේ. සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇත. ඊට අමතරව, අනතුරට ලක්වූ බල්කර් රථය ඇතුළු වාහන මහනුවර දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට නියමිත අතර අලවතුගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

the-speeding-bowser-which-had-no-brakes-swerved-to-save-the-bus-and-overturned

the-speeding-bowser-which-had-no-brakes-swerved-to-save-the-bus-and-overturned



the-speeding-bowser-which-had-no-brakes-swerved-to-save-the-bus-and-overturned



the-speeding-bowser-which-had-no-brakes-swerved-to-save-the-bus-and-overturned