the-root-of-the-dragon-sampath-murder-is-revealed-after-the-shooter-is-caught

පසුගිය ඔක්තෝබර් 09 වැනිදා උදෑසන 7.40ත් 7.55ත් අතර කාලයයි. කළුතර, මතුගම මාර්ගයේ නාගොඩ, ගල්ලස්ස හංදියේ පිහිටි ‘ඩ්‍රැගන්’ අවන්හල ඉදිරිපිටට පැමිණි සුඛෝපභෝගී රථයකින් අවන්හල් හිමිකරු සහ ඔහුගේ බිරිඳ බැස ගත්තා පමණි.

යතුරුපැදියකින් ආ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එකවරම ඔවුන් වෙත ටී-56 ගිනි අවියකින් උණ්ඩ වරුසාවක් එල්ල කළහ. පොලිස් විමර්ශනවලට අනුව තුවක්කුකරු සිය මුළු පතොරොම් ගැබම හිස් කර තිබූ අතර, එම ස්ථානයේ පතොරොම් කොපු 30ක් විසිරී තිබී සොයා ගැනිණි.




මෙම අමානුෂික ප්‍රහාරයෙන් 54 හැවිරිදි තුෂාර සම්පත් එදිරිසිංහ හෙවත් “ඩ්‍රැගන් සම්පත්” එතැනම ජීවිතක්ෂයට පත් විය. බරපතළ තුවාල ලැබූ ඔහුගේ පනස් වැනි වියේ පසුවූ බිරිඳ, සමරවීර මුදලිගේ දෝන ශිරෝමි ප්‍රියදර්ශනී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව, දින දෙකකට පසු එනම් ඔක්තෝබර් 11 වැනිදා අලුයම අවසන් හුස්ම හෙළුවාය. පාතාලයේ අඳුරු ගනුදෙනුවක ප්‍රතිවිපාක වෙනුවෙන් අවසානයේ ඒ අහිංසක කාන්තාවට ද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබිණි.

ඝාතනයට ලක්වූ ඩ්‍රැගන් සම්පත් යනු හුදු සාමාන්‍ය ව්‍යාපාරිකයකු නොවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු ප්‍රදේශයේ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ සහ දේශපාලනඥයකුගේ සෙවණැල්ල යටතේ දීර්ඝ කාලයක් නීතියෙන් රිංගා ගිය චූදිත අපරාධකරුවෙකි. දොඩන්ගොඩ, තුඩුගල ඇල්ල රෙස්ටුරන්ට් හිමිකරු පුබුදු විජේගුණවර්ධනගේ ටී-56 ගිනි අවිය සොරාගෙන එය මොරටුව සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් සඳහා ලබාදීම, දොඩන්ගොඩ "මීපැටියා" නමැති නිවුන් සොහොයුරන්ගෙන් අයකු ඝාතනය කිරීම සහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ද ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබිණි. ඔහුගේ මෙම අපරාධ පසුබිම නිසාම මීට වසර කිහිපයකට පෙර ඇසිඩ් ප්‍රහාරයකට ද ලක්වූ ඔහුට ඉන් සිය පෙනීම තරමක් දුරට අහිමි වී ගොස් තිබුණේය.




මෙම ද්විත්ව ඝාතනයේ මූල බීජය සැඟවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ඩුබායි දක්වා විහිදුණු කළු සල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලයක් තුළය. විමර්ශනවලට අනුව, ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක "කළුතර නවීන්" ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් සුදු කිරීමේ ප්‍රධානියා ලෙස ඩ්‍රැගන් සම්පත් කටයුතු කර ඇත. කෙසේ වෙතත්, නවීන්ගේ රුපියල් කෝටි 10ක මුදලක් සම්පත් විසින් වංචා කිරීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. නවීන්ගේ මුදල් පරිපාලක වන "දොඩන්ගොඩ ධනුක" අදාළ මුදල් නැවත ඉල්ලා කිහිප වතාවක්ම කළ මරණ තර්ජන පවා සම්පත් මායිම් නොකිරීමේ ප්‍රතිඵලය වූයේ කළුතර නවීන් විසින් මෙම ඝාතන නියෝගය ලබා දීමයි. කළුතර නවීන්ගේ මෙම මත්ද්‍රව්‍ය ජාලයේ විශාලත්වය කෙතරම්ද යත්, මේ වසරේ මාර්තු මාසයේදී ද වයස අවුරුදු 28-33 අතර පසුවන කළුතර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු අයිස් කිලෝ 1ක් සමඟ විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම මත්ද්‍රව්‍ය නවීන්ගේ ජාලයට අයත් ඒවා බව තහවුරු විය.

ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන්ටය. ඔහු හරහා ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු ඝාතනය සිදුවී පැය 24ක් ගතවීමටත් පෙර, එනම් ඔක්තෝබර් 10 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කරඹ, පාලවිය ප්‍රදේශයේ පදිංචි අංක 120 දරන නිවසේ 35 හැවිරිදි මුරුගේෂ් ශෂිකුමාර් නමැති මෙම සැකකරු, කංජිපානි ඉම්රාන්ගේ දිගුකාලීන කොන්ත්‍රාත් වෙඩික්කරුවකු ලෙස කටයුතු කළ පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි. කොළඹ මධ්‍යම බස් නැවතුම්පළෙන් මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථයකින් පලා යමින් සිටියදී නාවලඩි හන්දියේ යෙදූ මාර්ග බාධකයකදී ඔහු කොටුවන විට, ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 6ක් තිබී ඇත. සැකකරු දැනට කළුතර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.



වෙඩික්කරු කොටුවීමෙන් පසු, ඝාතකයන්ට ටී-56 ගිනි අවිය සැපයීම සහ ප්‍රවාහනය කරමින් ආධාර අනුබල දුන් ජාලයේ තවත් සැකකරුවන් තිදෙනකු පසුගිය 15 වැනිදා බ්‍රහස්පතින්දා සවස කළුතර දිසා අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පළමුවැන්නා කළුතර, රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කිමිදුම්කරුවෙකි. පානදුර උතුරින් සොරාගත් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ අපරාධයට හැඳි ටී ෂර්ට් එකක් ඔහු සතුව තිබී සොයා ගැනිණි. දෙවැන්නා කළුතර කොහොලාන, ඩයස් වත්තේ 26 හැවිරිදි කරණවෑමියෙකි. ඔහු සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 1000ක්, ජංගම දුරකථනයක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ ගිනි අවිය ප්‍රවාහනය කළ යතුරුපැදියට යොදාගත් ව්‍යාජ අංක තහඩුව හමුවී ඇත. මීට අමතරව අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු ද ගිනි අවි ප්‍රවාහනයට යොදාගත් ආරක්ෂිත හිස්වැසුම, ටී ෂර්ට් එක, දිග කලිසම සහ ජංගම දුරකථනයක් සමඟ පොලිස් භාරයට පත් විය.

මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර දිසා අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ කමල් කිරිඇල්ල යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත දියත් කෙරිණි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක උපුල්, සැරයන්වරුන් වන සමන්තිලක (41104), ගුණවර්ධන (44817), ප්‍රසන්න (69479), සරත් (49251), කොස්තාපල්වරුන් වන දිසානායක (83875), අංජුල (98857) සහ කොස්තාපල් රියැදුරු ලසික (80123) යන නිලධාරීහු ද ඊට එක්ව සිටියහ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. උදයකුමාරගේ මඟපෙන්වීම යටතේ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එල්. සරත්චන්ද්‍ර, පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම සහ කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇතුළු නිලධාරීන් විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම, කළු සල්ලි සුදු කිරීම සහ දේශපාලන සෙවණැලි එකිනෙක ගැටෙන මෙම පාතාල ව්‍යසනයේ ගැඹුර කොතෙක්දැයි මෙම ද්විත්ව ඝාතනයත් සමඟ නැවත අප ඉදිරියේ නිරාවරණය වී තිබේ. නීතියේ හිඩැස්වලින් රිංගා ගියද, පාතාලයේ විෂම චක්‍රය විසින්ම අවසානයේ එකිනෙකා බිලිගන්නා බව ඩ්‍රැගන් සම්පත්ගේ ඉරණමෙන් මනාව පැහැදිලි වේ. කළුතර දකුණ මූලස්ථාන පොලිසිය, කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ දෙපාර්තමේන්තුව (SOCO) එක්ව මේ සමාජ ව්‍යසනයේ ගැඹුර තවදුරටත් පැහැදිලි කරනු ඇත. එහෙත් නීතියේ ආධිපත්‍ය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් සිදුවූ මෙම මාරක භූමිකාවෙන් පසු කුමක් සිදුවනු ඇත්ද?

the-root-of-the-dragon-sampath-murder-is-revealed-after-the-shooter-is-caught

update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara

update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara



update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara

update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara



update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara

update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara