the-medical-board-is-summoned-to-court-to-ask-if-saleh-really-has-a-toothache-or-a-heart-problem

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දස දෙනෙකුට ලබන ඔක්තෝබර් 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතා විසින් නොතීසි නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.




මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු බුද්ධි ප්‍රධානියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඔහුගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බව මෑතකදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා රුපියල් ලක්ෂ හතළිහක පමණ රජයේ මුදල් වැය කරමින් ඔහුගේ හදවතට විශේෂ උපකරණයක් සවිකර ඇති බවද අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ විය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රෝහලේ 42 වන සාමාන්‍ය වාට්ටුව වෙත මාරු කර යවා ඇත.

මීට පෙර පැවති නඩු වාරයකදී සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට අදාළ වාර්තා අධිකරණයට ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණි. ඒ අනුව ඔහු අධිකරණයේ පෙනී සිටි අතර, ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය නිලධාරියෙකු වන බැවින් නීතිපතිවරයාගේ ඉල්ලීම මත ඔහු වෙනුවෙන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය. සුරේෂ් සලේ මහතා රෝහල්ගතව සිටීම හුදෙක් වෛද්‍ය කුමන්ත්‍රණයක් බවට තමන් පෙර දැරූ ස්ථාවරයේම තවදුරටත් රැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අවධාරණය කළේය.




අධිකරණ නියෝගයක් නිකුත් කර දින සියයක් ගතවී ඇතත් සිය පරිගණකයේ මුරපද මතක නොමැති බව පවසමින් සැකකරු තවමත් ඒවා විමර්ශකයින්ට ලබා දී නොමැති බව පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. බුද්ධි අංශ ප්‍රධානියෙකුට තිබිය යුතුම දෙයක් වන මතක ශක්තිය ඔහුට නොමැති බව කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, හෘදයට අදාළ ප්‍රතිකාර අවසන් වී ඇති නමුත් සැකකරුගේ දත්වල අමාරුවක් පවතින බවත් එය හදවත හා සම්බන්ධ බවත් පවසමින් වෛද්‍යවරුන් ඔහුට තවදුරටත් රෝහල තුළ සුපිරි පහසුකම් ලබාදෙමින් සිටින බවට චෝදනා කළේය.

දත්වල රෝගාබාධයක් සඳහා වෙනත් රෝගීන් මෙලෙස රඳවාගෙන ප්‍රතිකාර කරන්නේදැයි මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටි අතර, අදාළ දතේ ස්නායු පිරවීමේ ප්‍රතිකාරය සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නතර කළහොත් ගැටලුවක් මතු විය හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.



එම වෛද්‍ය නිර්දේශයන්ට අනුව සුරේෂ් සලේ මහතා ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රෝහලේ රඳවාගෙන ප්‍රතිකාර කිරීමට මේ අනුව අවසර හිමිවී තිබේ. අදාළ ප්‍රතිකාර අවසන් වීමෙන් පසු ඔහුව සුදුසු පරිසරයකට මුදාහැරිය හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ අතර, ඉන් අනතුරුව සැකකරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් සුපුරුදු පරිදි විමර්ශන සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.