
කොළඹ විහාරමහාදේවී උද්යානයේ බුදු පිළිමය අබියස දියත් කර තිබූ සත්යග්රහය ඊයේ (25) සන්ධ්යා කාලයේ අත්හිටුවීමට තීරණය කර ඇති බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් දන්වා සිටියේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා මැදිහත් වන බවට එනම් අරගලය ඉදිරියට ගෙනයන බවට දැනුම්දී ඇති බැවින් යයි හේතු දක්වමින් ලිපියද පෙන්වමිනි. නමුත් සත්යග්රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා සංඝ ගෞරවයට හානිකර හැසිරීමක නිරතවන බව පැහැදිලි කරමින් මහනායක හිමිවරු උදහසින් එම ලිපිය ලියා ඇති බව කියවන විට වැටහේ.
ඊට අමතරව සඳුදා උදෑසන අධිකරණ කටයුතු ආරම්භයේදීම සිකුරාදා ලබාදුන් තහනම් නියෝගයට අත්සන් තැබෙන නිසා මෙම ප්රකාශය කළත් නැතත් මෙම පිරිසට එතැනින් පිටව යාමට සිදුව තිබුණි.පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබා දෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා සිදුකරන විරෝධතා පාදක කරගනිමින්, සමස්ත භික්ෂු සමාජය කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය පළුදු කිරීමට කිසිදු පිරිසකට ඉඩ නොතබන ලෙස ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා මහා සංඝරත්නයෙන් දැඩිව ඉල්ලා තිබුණි. උද්ගතව ඇති මෙම සංවේදී වාතාවරණය හමුවේ වීදි බසිමින් සිදුකරන ඇතැම් විරෝධතා මගින් ශ්රී ලාංකේය සමාජය තුළත්, ජාත්යන්තරය හමුවේත් භික්ෂු කීර්ති නාමයට හානි පැමිණවීමට ඇතැම් පිරිස් ක්රියාකරමින් සිටින බව උන්වහන්සේලා පෙන්වා දෙති.
මෙම අර්බුදය නීත්යානුකූලව හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා ලෙස මේ වන විටත් රජය වෙත අවශ්ය මැදිහත්වීම සිදු කර ඇති බව අදාළ ඒකාබද්ධ නිවේදනය හරහා විරෝධතාවල නිරත භික්ෂූන් වහන්සේලා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. තිබ්බටුවාවේ ශ්රී සුමංගල මල්වතු මහ නාහිමි, වරකාගොඩ ශ්රී ඤාණරතන අස්ගිරි මහනාහිමි, කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති අමරපුර උත්තරීතර මහ නාහිමි සහ මකුලෑවේ ශ්රී විමල රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමි යන සිව් නමගේම අත්සනින් යුතුව මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට පාත්ර වන ආධ්යාත්මික මාර්ගෝපදේශකයා බව සිහිපත් කරන මහානාහිමිවරුන්, එම අද්විතීය ගෞරවය සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව අවධාරණය කරති. කිනම් අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය සහ සංඝ සාමග්රිය සුරකිමින් ධර්මානුකූලව හා විනයානුකූලව ගැටලු නිරාකරණය කර ගැනීම මහා සංඝරත්නයේ පරම වගකීම බව උන්වහන්සේලා පෙන්වා දෙති.
ශාසන බ්රහ්ම චර්යාවේ උදාර අරමුණත්, ඓතිහාසික භික්ෂු භූමිකාවේ සාමාජීය කාර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු බව පවසන මෙම ඒකාබද්ධ නිවේදනය, "අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවය" යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්රසාදය වඩාත් වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන ලෙස සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝරත්නයට සිහිපත් කරමින් අවසන් කර තිබේ.
