ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට අද (2026 ඔක්තෝබර් 08) තීරණය කළේය. "නායකත්වයේ වගකීම මීළඟ පරම්පරාව වෙත පැවරිය යුතු බව මගේ අවංක විශ්වාසයයි," යනුවෙන් ජාතික තේරීම් කමිටුව වෙත යොමු කළ ලිපියක ඔහු සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඔහුගේ තීරණයට ප්‍රතිචාර දක්වමින්, ටෙස්ට් කණ්ඩායමට ලබාදුන් නායකත්වය වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කළ අතර, ඉදිරි ක්‍රිකට් දිවියට සුබ පැතුම් එක් කළේය. 35 හැවිරිදි ධනංජය සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට තවදුරටත් සූදානමින් සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය. කෙසේ වෙතත්, නව ටෙස්ට් නායකයා කවුරුන්ද යන්න මෙතෙක් නිවේදනය කර නොමැත.
මෙම හදිසි ඉල්ලා අස්වීමට පසුබිම් වී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව මව්බිමේදී ලැබූ ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු ඔහුට එල්ල වූ පීඩනය බව වාර්තා වේ. ධනංජයගේ නායකත්වය පිළිබඳව තේරීම් කමිටුවේ අප්‍රසාදයක් පැවති බවත්, පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට පෙර නායකත්වයේ වෙනසක් සිදු කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටි බවත් දේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දීය තරගාවලියේ උප නායකයා ලෙස කටයුතු කළ කමිඳු මෙන්ඩිස් හෝ වත්මන් සුදු පන්දු නායක කුසල් මෙන්ඩිස් මීළඟ ටෙස්ට් නායකයා ලෙස පත්වීමට ඉඩ ඇති බවට එක් සමාජ මාධ්‍ය සටහනක අනුමාන කෙරුණද, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.
2024 ජනවාරි 4 වැනිදා දිමුත් කරුණාරත්නගෙන් හිස්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත් ධනංජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 18 වැනි ටෙස්ට් නායකයා විය. ඔහු ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 15කට නායකත්වය ලබා දී ඇති අතර, ඉන් තරග 6ක් ජයග්‍රහණය කර, තරග 7ක් පරාජයට පත්වී, තවත් තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත. ඔහුගේ නායකත්වයේ ජයග්‍රාහී ප්‍රතිශතය 40% කි.
ධනංජයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව තරගාවලි ජයග්‍රහණ අත්කර ගත් අතර, 2014 න් පසු එංගලන්තයේදී (ඕවල්හිදී) ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමටද සමත් විය. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව හමුවේ මෑතකදී ලැබූ පරාජයන් නායකත්වයේ වෙනසක් සඳහා බලපෑ බව පෙනෙන්නට තිබේ.
1991 සැප්තැම්බර් 6 වැනිදා හම්බන්තොටදී උපත ලැබූ ධනංජය මදුරංග ද සිල්වා, කොළඹ මහානාම විද්‍යාලයේ කෙටි කාලයක් ගත කිරීමෙන් පසු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය. දකුණත් මැදපෙළ පිතිකරුවෙකු මෙන්ම පිටදඟ පන්දු යවන්නෙකු ලෙසත් දස්කම් දක්වන ඔහු, මේ වනවිට ටෙස්ට් තරග 69කදී ශතක 13ක් සහ අර්ධ ශතක 20ක් සමඟින් ලකුණු 4,431ක් රැස්කරගෙන තිබේ. ඔහුගේ ටෙස්ට් පිතිකරු සාමාන්‍යය 38.21 කි. මීට අමතරව ඔහු ටෙස්ට් කඩුලු 43ක් ද දවාගෙන ඇත.
ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය ඛේදනීය සිදුවීමක් 2018 වසරේදී වාර්තා විය. දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුව සිටි ඔහුගේ 62 හැවිරිදි පියා වන කේ. රන්ජන් ද සිල්වා, 2018 මැයි 24 වැනිදා රාත්‍රී 8.30 ට පමණ රත්මලානේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. එම ඛේදවාචකය හේතුවෙන් පසුදින බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සංචාරයෙන් ධනංජය ඉවත් වූවද, පසුව දෙවැනි තරගය සඳහා නැවත කණ්ඩායමට එක්විය.
සඳුනි නිසංසලා සමග විවාහ වී සිටින ධනංජයට 2022 වසරේ උපන් ආන්යා නම් දියණියක සිටී. 2016-17 වසරේ හොඳම ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවා මෙන්ම 2025 වසරේ හොඳම ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනූ ඔහු, නායකත්වයෙන් ඉවත් වුවද තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් පසුවේ.

