should-have-asked-the-mahanayake-theros-before-removing-the-robe---vajira-abeywardena

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමේ සිද්ධිය දැන් දේශපාලන සහ ආගමික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ස්ථාවරය ප්‍රකාශ කළ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ, එවැනි තීරණයක් ගැනීමට පෙර අධිකරණ අමාත්‍යාංශය මහානායක හිමිවරුන්ගේ අදහස් විමසිය යුතුව තිබූ බවයි.




ඔහු මේ බව පැවසුවේ අද (08) කොළඹ මල් පාරේ පිහිටි එජාප දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. මහානායක හිමිවරුන්ගේ උපදෙස් ලැබීමෙන් පසුව පමණක් ඊළඟ පියවර කුමක් විය යුතුදැයි තීරණය කළ යුතුව තිබූ බවද ඔහු අවධාරණය කළේය.

මෙම තීරණය හේතුවෙන් බුද්ධාගමට මෙන්ම රටේ ආගමික නිදහසටද අභියෝගයක් එල්ල වී ඇති බව අබේවර්ධන මහතාගේ මතයයි. ඔහුට අනුව මෙය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස තහවුරු කරන 10 වැනි වගන්තිය යන දෙකම උල්ලංඝනය කිරීමකි.




ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ගොනු වූයේ යහපාලන රජය පැවති සමයේ බව සිහිපත් කළ එජාප සභාපතිවරයා, එවකට මහානායක හිමිවරුන් උන්වහන්සේට සමාව ලබා දෙන ලෙස ඉල්ලා එවකට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවත්, ඉන් අනතුරුව එවකට රජය සමාව ලබා දීමට කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.

"මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට ගරු කරමින් වරක් නිදහස ලබා දුන්නා නම්, දැන් එය වෙනස් වෙන්නේ කොහොමද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. නීතියට අනුව කටයුතු කළ යුතු වුවද, වර්තමානයේ අදාළ නීති නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවද ඔහු චෝදනා කළේය.



රටේ මහානායක හිමිවරුන් විසින් කරන ලද ඉල්ලීමක් මෙයට සම්බන්ධ වන බැවින්, මෙය සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස සැලකිය නොහැකි බව අබේවර්ධන මහතාගේ ස්ථාවරයයි. පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර වෙනත් ක්‍රමයකින් මෙම ගැටලුව විසඳීමට පවා ආණ්ඩුවට අවකාශ තිබූ බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නීතිමය පසුබිමද ඇතුළත් සවිස්තරාත්මක ප්‍රකාශයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු සිදු කිරීමට නියමිත බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.