ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අත්අඩංගුවට පත්ව, පසුව ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ සිට කොළඹ නවලෝක පෞද්ගලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, ඇයගේ වත්මන් සෞඛ්ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්යවරුන් ලබාදුන් උපදෙස් මත මෙම මාරු කිරීම සිදු කර ඇත. ඒ අනුව, කොළඹ ජාතික රෝහල තුළ මූලික ප්රතිකාර ලබමින් සිටි ඇයව, වැඩිදුර වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර සඳහා මෙලෙස නවලෝක රෝහල වෙත යොමු කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 07 වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිලිය සවිය සංවිධානයට ලබාගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්ය ලෙස පරිහරණය කළේ යැයි කියන චෝදනාව මතය. අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම ඇයව කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. අනතුරුව පසුගිය 16 වනදා අධිකරණය විසින් ඇයව ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, එතැන් පටන් ඇය වැඩිදුරටත් ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් පසුවූවාය. 16 වනදා උසාවියේදී කියැවුනේ ඇයට බයිපාස් සැත්කමක් අවශ්ය බවට ජාතික රෝහලට ගිය වෛද්ය මණ්ඩලය තහවුරු කළ බවකි. ඇප ලබාගැනීමට අමාරු පොදු දේපළ පනත යටතේ නඩුවේදී බයිපාස් සැත්කම විශේෂ හේතුවක් වූ නිසා ඇයට ඇප ලැබිණි.