කොළඹ විහාරමහදේවී උද්යානයේ දින ගණනාවක් පුරා පැවැත්වෙන සත්යග්රහය මේ වන විට නීතිමය මෙන්ම සමාජීය උණුසුමක් නිර්මාණය කර තිබේ. සත්යග්රහය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස අධිකරණය මගින් දෙවරක්ම ස්ථිරව දන්වා ඇතත්, විරෝධතාවයේ නිරත පිරිස අධිකරණ නියෝගය සිය අයිතිවාසිකම් තහවුරු කිරීමක් ලෙස වෙනස් අයුරකින් අර්ථකථනය කරමින් තවදුරටත් එහි රැඳී සිටිති.
මෙම විරෝධතාවයේ ආරම්භය සනිටුහන් වන්නේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ අධිකරණයෙන් පිටතට ගැනීමේදී නීතිවිරෝධී හා ශාසන විරෝධී ලෙස චීවරය ඉවත් කිරීමට එරෙහිව පැනනැගුණු සාමකාමී විරෝධතා පාගමනත් සමගිනි. මුලින්ම කොළඹ ජනාධිපති මන්දිරය අබියසට පැමිණි විරෝධතාකරුවන්, ප්රධාන මාර්ගය අවහිර වන බවට පොලිසිය කළ දැනුම්දීමට ගරු කරමින් එතැනින් ඉවත් වූ බව සත්යග්රහකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වා දෙයි.
පොලිසිය අධිකරණයට කරුණු දක්ව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (1) ප්රතිපාදන ප්රකාරව ලබා දී ඇති නියෝගය පූජ්ය උලපනේ සුමංගල සහ පූජ්ය බලංගොඩ කාශ්යප යන හිමිවරුන් ඇතුළු විහාරාධිපතිවරුන්ටත්, අඛණ්ඩව රැඳී සිටින සෙසු ස්වාමීන් වහන්සේලාටත්, සිවිල් ක්රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ටත් නිකුත් කර තිබේ. ඒ අනුව විහාරමහාදේවී උද්යානය ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය සහ ඇවිදින මංතීරු ඇතුළුව එෆ්. ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්රීන්පාත් පාර සහ මල්පාර යන මාර්ග අවහිර නොකරන ලෙස අදාළ පිරිස් වෙත නියෝග කර ඇත. ඊට අමතරව මල්පාරේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට සහ විහාරමහාදේවී උද්යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, කිසිදු පොදු හෝ පුද්ගලික දේපළකට හානි නොකරන ලෙසත් එමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී මෙම සත්යග්රහයට එරෙහිව ලබාගෙන තිබූ තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කළ ද එය ප්රතක්ෂේප විය. කෙසේ වෙතත් විනිසුරු මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරේ නැත. සත්යග්රහය නියෝජනය කරන නීතීඥ අර්ථකථනයට අනුව, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්රකාශ කිරීමේ සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සීමා කිරීමට මහේස්ත්රාත්වරයාට අවශ්යතාවක් නොමැති බවත්, මහජනතාවට හෝ පොදු දේපළවලට බාධාවක් නොවන අයුරින් එය පවත්වාගෙන යාමට අවසර ඇති බවත් අධිකරණයේදී ප්රකාශ වී ඇත. දින හතක් පුරා කිසිදු පොදු දේපළකට (ට්රාන්ස්ෆෝමර් හෝ බස් රථවලට) හානියක් නොකර සාමකාමීව රැඳී සිටි බැවින් තවදුරටත් ආගමික කටයුතු කරගෙන යාමට බාධාවක් නොමැති බව විරෝධතාකරුවන්ගේ ස්ථාවරයයි.
මෙම නීතිමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වන පූජ්ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ, පදික වේදිකාව සහ මංතීරුව අවහිර කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළද, සත්යග්රහය පැවැත්වෙන්නේ ඇවිදින මංතීරුවට මීටර් තුන්සීයක් පමණ එපිටින් බවයි. එමෙන්ම, සත්යග්රහයේ නිරත පූජ්ය කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලා සිටියද, විනිසුරුවරයා එය ප්රතික්ෂේප කළ බවද උන්වහන්සේ අවධාරණය කරති.
ගතවූ දින හත තුළ පොලිසිය සමග කිසිදු ගැටුමක් ඇති කර නොගත් බව පවසන සුමංගල හිමියන්, එම ස්ථානයෙන් ගමන් කළ 'මාලිමා' පාක්ෂිකයින් තමන්ට අපහාස කරමින් හූ කීවද ඊට මෛත්රියෙන් ප්රතිචාර දැක්වූ බව පවසති. මීට මීටර් තුන්සීයකට එහායින් විශාල ආවරණ යොදා අගමැතිවරයාගේ ප්රදර්ශනයක් පවත්වමින් ජනතාවට දැඩි අවහිරතා සිදුකළද, තමන් කිසිවෙකුට එවැනි බාධාවක් සිදුකර නොමැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.
මෙම සත්යග්රහය හුදු දේශපාලනික සටන් පාඨයක් නොව, ජාති භ්රෂ්ටයින්ගෙන් ශාසනය බේරාගැනීමේ අරගලයක් බව උන්වහන්සේගේ අදහසයි. නිදහසින් පසු පවතින ආණ්ඩුවකින් ශාසනය බේරාගැනීමට සටන් කරන පළමු අවස්ථාව මෙය බව පවසන උන්වහන්සේ, වර්තමානයේ විෂයභාර අමාත්යවරයා රුවන්වැලි මහා සෑය 'ස්මාරකයක්' ලෙස හැඳින්වීම දැඩි සේ විවේචනය කරති. බෞද්ධයින්ගේ අහිංසකත්වය සහ අවිහිංසාවාදී බව දඩමීමා කරගෙන සිංහල බෞද්ධයාව පීඩාවට පත් කිරීමට වත්මන් පාලනය උත්සාහ කරන බවටද උන්වහන්සේ චෝදනා කරති.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ නවවැනි වගන්තියෙන් තහවුරු කර ඇති බුද්ධාගමේ ප්රමුඛස්ථානය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෝය දිනවලදීද මෙම ස්ථානයේ සීල භාවනා වැඩසටහන් පවත්වාගෙන යන බව විරෝධතාකරුවෝ පවසති. "අපි ජීවිතය දුන්නත්, අපේ ජීවිත උදුරගත්තත්, අපි අපේ සටන අතහරින්නේ නැහැ ජයග්රහණය කිරීමෙන් මිසක්," යනුවෙන් පූජ්ය උලපනේ සුමංගල හිමියන් කළ ප්රකාශයත් සමග සත්යග්රහයේ නිරත පිරිස තවදුරටත් පිරිත් සජ්ඣායනා කරමින් සිය විරෝධතාවය ඉදිරියට ගෙන යමින් සිටිති.