සැමියාට ඇප ලබාගැනීම වෙනුවෙන් විනිසුරුවරයෙකු පෙළඹවීමේ අරමුණින් අල්ලස් මුදලක් ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසම මගින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුවය.
අධිකරණ නියෝගය අනුව එලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු වන 'චරිත්' නැමැත්තාය. හිටපු නියෝජ්ය අමාත්යවරයාට ඇප ලබාදීම සඳහා විනිසුරුවරයෙකු පෙළඹවීම පිණිස අදාළ කාර්ය සහායකයා වෙත මෙම අල්ලස් මුදල ලබා දී ඇති බවට සිද්ධියට අදාළව කරුණු වාර්තා වී තිබේ.
මේ අතර, මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන සිටි මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා ඇප මත මුදාහැරීමට ප්රධාන මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කළේය. ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරිණි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් තුන්දෙනා පසුගිය 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.