තුර්කියේ සිට ශ්රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. එහි වූ දීර්ඝ ගුවන් ගමන අතරතුර අසල අසුනේ සිටි විදේශීය කාන්තාවක නින්දට වැටුණේ මගියකුගේ උරහිසට වාරු වෙමිනි.
එහෙත් එම අහඹු සිදුවීම අවසන් වූයේ ගුවන් තොටුපොළ පොලිසිය විසින් අදාළ මගියාව අත්අඩංගුවට ගෙන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙනි.උඩුගුවනේදී ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට ලිංගික හිංසනයක් කළේ යැයි චෝදනා ලබමින් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ රත්නපුර ප්රදේශයේ පදිංචි වී.ටී. දිසානායක නමැති තරුණයෙකි. කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේ අදාළ සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
මෙම සිදුවීමට මුහුණ දුන් ස්පාඤ්ඤ ජාතික කාන්තාව ශ්රී ලංකාවේ රැඳී සිටින්නේ සතියක පමණ කෙටි කාලයක් සඳහා පමණි. ඒ හේතුවෙන් ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්රකාශයක් ලබාදීමට අකමැත්ත පළ කර තිබේ. කෙසේ වෙතත්, ගුවනේදී ඇති වූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් නිලධාරීන්ගෙන් සටහන් කරගත් ප්රකාශ මත පදනම්ව සැකකරු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරුගේ නීතිඥවරිය පොලිසියේ චෝදනාව තරයේ ප්රතික්ෂේප කළාය. ඇය සඳහන් කළේ සිය සේවාදායකයා කිසිදු ආකාරයක අතවරයක් සිදුකර නොමැති බවයි. නීතිඥවරිය අධිකරණයට පැහැදිලි කළ ආකාරයට, දීර්ඝ ගුවන් ගමන අතරතුර සැකකරුගේ උරහිස මතට වාරු වී නින්දට වැටී සිටි කාන්තාව අවදි කිරීම සඳහා ඔහු ඇයගේ අතින් අල්ලා ඇත. එහිදී හදිසියේ අවදි වීමෙන් කලබලයට පත් වූ කාන්තාව කෑගැසීමට පටන්ගෙන තිබේ. අදාළ විදේශික කාන්තාව තවත් පිරිසක් සමග මෙම සංචාරයට එක්ව සිටි බැවින්, එම අවස්ථාවේ ඇති වූ යම් චකිතයක් හෝ අපහසුතාවක් හේතුවෙන් ඇය එලෙස හැසිරෙන්නට ඇති බවත්, අතින් අල්ලා අවදි කිරීම හැර වෙන කිසිවක් සිදුකර නොමැති බවත් නීතිඥවරිය පෙන්වා දුන්නාය.
මෙම හදිසි තත්ත්වය වටහාගත් ගුවන් සේවිකාවන් වහාම මැදිහත් වී අදාළ කාන්තාව වෙනත් අසුනකට යොමු කරමින් ගැටුම සමථයකට පත් කර තිබේ. සැකකාර තරුණයා මෙම ගුවන් ගමනින් දිවයිනට පැමිණ ඇත්තේ තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඔහුගේ විවාහ මංගල්යය සඳහාය. ඔහුගේ පෙම්වතිය ද එම අවස්ථාවේ අධිකරණයේ රැඳී සිටියාය. මෙම කරුණු පැහැදිලි කළ නීතිඥවරිය, තම සේවාදායකයා මෙම සිද්ධිය කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැත්තෙන් පසුවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දී පැමිණිල්ල සමථයකට පත්කර අවසන් කිරීමට හැකි නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුට ඇප නියම කළ අතර, සිද්ධියට අදාළ විමර්ශනවල ප්රගතිය ලබන 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.