සිය 17 වැනි මාසයේ පාප් ධුරය හොබවන 71 හැවිරිදි ඇමෙරිකානු ජාතික 14 වැනි ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව ශල්යකර්මයකින් අනතුරුව තහවුරු වී ඇතැයි වතිකානුව නිවේදනය කරයි. රෝමයේ ජෙමෙලි රෝහලේදී සිදුකළ සාර්ථක ශල්යකර්මයකින් පසු උන්වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටසක් ඉවත් කර ඇති අතර, මෙය පාප් වහන්සේ නමක් සිය සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ දුර්ලභ විනිවිදභාවයක් ලෙස ජාත්යන්තර මාධ්ය පෙන්වා දෙයි.
පසුගිය ඉරිදා පැවති සතිපතා යාඥාව අතරතුරදී, සිය පෙනහල්ලේ ගැටයක් හඳුනාගෙන ඇති බවත් එය පිළිකා තත්ත්වයක්දැයි මෙතෙක් තහවුරු වී නොමැති බවත් පාප් වහන්සේ විසින්ම ප්රසිද්ධියේ ජනතාවට දැනුම් දෙනු ලැබිණි. ඉන් අනතුරුව අඟහරුවාදා දිනයේදී ශල්යකර්මය සඳහා ජෙමෙලි රෝහලට පැමිණි උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා විශාල පිරිසක් රෝහල අවට රැස්ව සිටියහ.
වීඩියෝ තාක්ෂණයේ ආධාරයෙන් සැලසුම් කළ පරිදිම සිදුකළ මෙම ශල්යකර්මය සඳහා පාප් වහන්සේ ආසන්න වශයෙන් පැය තුනක පමණ කාලයක් ශල්යාගාරයේ ගත කර ඇති අතර, ප්රධාන සැත්කම සඳහා ගතවී ඇත්තේ මිනිත්තු 90ක පමණ කාලයකි. එහිදී ලබාගත් පටක පරීක්ෂාවෙන්, පූර්ව පරීක්ෂණ මගින් සැක කර තිබූ 'පෙනහළු ඇඩිනොකාර්සිනෝමා' (Lung Adenocarcinoma) නමැති පිළිකා තත්ත්වය උන්වහන්සේට වැළඳී ඇති බව නිල වශයෙන් තහවුරු වූ බව වෛද්යවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කිසිදු සංකූලතාවකින් තොරව ඉතා සාර්ථකව අවසන් වූ මෙම සැත්කම සඳහා ප්රධාන උරස් ශල්ය වෛද්ය මහාචාර්ය ස්ටෙෆානෝ මාගරිටෝරා විසින් නායකත්වය ලබා දෙන ලදී. මහාචාර්ය එලිසා මෙකි, වෛද්ය මරියා තෙරේසා කොන්ගෙඩෝ සහ වෛද්ය ලෙනාඩෝ පෙට්රැකා සියවරෙල්ලා යන වෛද්යවරුන්ගේ සහය ඊට හිමිවූ අතර, මහාචාර්ය මැසිමෝ ඇන්ටොනෙලි, වෛද්ය ජියෝවානි පුන්සෝ සහ වෛද්ය ජුසෙප් බෙලෝ යන වෛද්යවරු නිර්වින්දන කණ්ඩායමට ඇතුළත් වූහ.
සැත්කමෙන් පසු සාමාන්ය පරිදි අවදි වූ ලියෝ පාප් වහන්සේ කෙටි නිරීක්ෂණ කාලයකින් අනතුරුව රෝහලේ 10 වැනි මහලේ පිහිටි සිය කාමරය වෙත රැගෙන ගොස් තිබේ. ශුද්ධාසනයේ මාධ්ය කාර්යාලයේ අධ්යක්ෂ මැටියෝ බෲනි ප්රකාශ කළේ, පාප් වහන්සේ සැත්කමෙන් පසු රාත්රී ආහාරය ඉල්ලා සිටි බවත්, එදින සන්ධ්යාව සිය ලේකම්වරුන් සහ අනෙකුත් වතිකානු කාර්ය මණ්ඩලය සමඟ ගත කළ බවත්ය.
පිළිකාව ශරීරයේ වෙනත් ස්ථානවලට පැතිරී ඇත්දැයි සොයා බැලීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව වතිකානු ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය කල්තියා හඳුනාගත් බැවින් පාප් වහන්සේගේ රෝග නිධානය සම්බන්ධයෙන් පූර්ව නිගමනය 'ඉතා යහපත්' වනු ඇති බව පිළිකා රෝග විශේෂඥයින් සැත්කමට පෙර ප්රකාශ කර තිබිණි. මේ අතර, පාප් වහන්සේගේ සුවය ලැබීමේ කාලසීමාව වෙනුවෙන් ඔක්තෝබර් 20 වැනිදා දක්වා සැලසුම් කර තිබූ උන්වහන්සේගේ සියලුම මහජන හමුවීම් අවලංගු කිරීමට වතිකානුව පියවර ගෙන ඇත.
