පසුගිය වසරේදී දරුවන් දෙදෙනෙකුද සමගින් වෙඩි තබා ඝාතනය කෙරුණු 'මිද්දෙණියේ කජ්ජා' නමින් හැඳින්වූ විදානගමගේ අරුණ ප්රියන්තගේ වැඩිමහල් පුත්රයා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මිද්දෙණිය පොලිස් වසමේදී සිය පියා සහ දරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම පසුගිය වසරේදී වාර්තා වූ අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුත්රයා වීම විශේෂත්වයකි. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (12) දින සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු නීතියේ රැහැනට කොටුවී ඇත.
පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව, වීරකැටිය යග්ගස්මුල්ල ප්රදේශයේ පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසක සඟවා තිබූ අදාළ ගිනි අවිය සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ. එලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ විදෙස් රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයට අයත් බෝර 12 ගිනි අවියකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විට ඔහු වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු තංගල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.
