
පූජ්ය ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය අතරතුරදී දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. කුරුඳුවත්ත පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී, පොලිස් නිලධාරියෙකු අධිකරණ නියෝගයක් තම ළැමට දමා පියයුරු ස්පර්ශ කරමින් අතවර කළ බවට කාන්තාවක් මාධ්ය ඉදිරියේ බරපතළ චෝදනාවක් එල්ල කිරීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් විය.
මෙම සිදුවීම වාර්තා වන්නේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් රැගෙන අදාළ භූමියට පැමිණි අවස්ථාවේදීය. පොලිසිය විසින් අධිකරණ නියෝගය පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ට දැනුම් දී තිබේ.
එහෙත් එහි රැඳී සිටි බලංගොඩ කස්සප හිමියන් මෙන්ම අනුගාමික පිරිමි සහ කාන්තා පිරිස් ඊට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. පොලිසිය විසින් ලබා දුන් අධිකරණ නියෝගය නොතකා හළ විරෝධතාකරුවන්, පොලිස් නිලධාරීන් සමග වාද කරමින් කියා සිටියේ තමන් කිසිසේත්ම එම ස්ථානයෙන් පිටව නොයන බවයි. මේ හේතුවෙන් පොලිසිය සහ සත්යග්රහයේ නිරත පිරිස අතර යම් පොරකෑමක් ද හටගෙන තිබේ.
අනතුරුව පොලිසිය උසාවි නියෝගය පෙන්වූවද එය ගණනකට නොගත් අතර පොරකමින් එතැනින් ඉවත්වන්නට බැරි බව කියා සිටියහ. අනතුරුව මෙගාෆොනයකින් පිරිසට ඇසෙන සේ උසාවි නියෝගය හඩ නගා කියවන්නට එක් පොලිස් නිලධාරියෙකු කටයුතු කළ අතර පසුව ඔවුනට ඉවත්වන්නට වෙලාවදී පොලිසිය පිටව ගොස් තිබුනි. ඒ කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත කණ්ඩායම තල්ලු කරද්දී උසාවි නියෝගය කාන්තාවකගේ ළැම තුළට යොමු කරමින් පියයුරු ස්පර්ශ කළ බවට එම කාන්තාව හා පෙර දිනයේ යකැදුරු වරියක ලෙස කටයුතු කළ කාන්තාව මාධ්ය ඉදිරියේ දන්වා සිටි අතර තමන් පොලිස් අතවරයට ලක්වූ බවක් දන්වා තිබුණි.