pakistan-defeats-sri-lanka-in-first-odi-of-tri-series

2026/27 තරගවාරයේ පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 37ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ (18) සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුණු මෙම තරගයේදී ලකුණු 306ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු එකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 268ක් පමණි.




කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකාව ගත් තීරණයෙන් පසු පිටියට පිවිසි පාකිස්තානුවෝ සිය ඉනිම සඳහා ලකුණු 305ක් රැස් කළහ. එම දැවැන්ත ඉලක්කය හඹා යෑමේදී පාකිස්තාන වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳ වැටිණි. එහෙත් පස්වැනි කඩුල්ල සඳහා පිටියේ එක් වූ පවන් රත්නායක සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ ලකුණු 119ක සබඳතාවක් ගොඩනගමිනි. පවන් පන්දු 74කින් ලකුණු 79ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගිනි. ජනිත් ලියනගේ පන්දු 74කින් ලකුණු 60ක් ලබා ගත්තේය.

මෙම සබඳතාවත් සමගින් තරගයේ පාලනය යම්තාක් දුරට ශ්‍රී ලංකාව වෙත නතු වූ අතර, අවසන් පන්දුවාර 7 තුළ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 55ක් පමණි. නමුත් ජනිත් ලියනගේගේ දැවී යෑමත් සමගම තරගයේ සම්පූර්ණ වාසිය පාකිස්තානය දෙසට හැරිණි. දැඩි පීඩනයක් එල්ල කළ පාකිස්තාන වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15ක් තුළ බිඳ වැටීම තරගයේ තීරණය වෙනස් කළේය. ශ්‍රී ලංකා ඉනිම නිමා කරමින් අසිත ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගත්තේ හාරිස් රවුෆ් විසිනි. පන්දු යැවීමේදී ශාහීන් අෆ්රිඩි ලකුණු 55කට කඩුලු 3ක් ද, නසීම් ෂා, හාරිස් රවුෆ් සහ ෆහීම් අෂ්රෆ් ලකුණු 43කට, 48කට සහ 49කට කඩුලු 2ක බැගින් ද දවා ගත්හ.




මීට පෙර පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ ද ආරම්භය සාර්ථක වූයේ නැත. දිල්ෂාන් මධුශංකගේ පන්දු යැවීම හමුවේ සයිම් අයුබ් ලකුණු 7කටත්, ෆකාර් සමාන් ලකුණු 16කටත් දැවී ගියහ. ඉන් අනතුරුව පිටියට එක් වූ බාබර් අසාම් සහ සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට එක් වූ සාද් බේග් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ස්ථාවර කළහ. පන්දු 57කින් ලකුණු 45ක් ලබා සිටි බාබර් සහ පන්දු 40කින් ලකුණු 39ක් ලබා සිටි සාද් බේග්ගේ සබඳතාව බිඳ දැමීමට ඉෂාන් මාලිංග සමත් විය.

මෑතකදී ටෙස්ට් සහ විස්සයි-20 සංචිතවලින් ඉවත් කිරීම හේතුවෙන් පසුබෑමකට ලක්ව සිටි සල්මාන් අලි ආඝා ඉන්පසුව පිටියට පිවිසියේ පාකිස්තාන ඉනිමේ පාලනය සියතට ගනිමිනි. සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කළ ඔහු, පන්දු 90කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 107ක් රැස් කළේය. අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවාරයකදී පිටපිට හතරේ පහර දෙකක් එල්ල කරමින් ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 82කිනි. එය ඔහුගේ ක්‍රිකට් දිවියේ වේගවත්ම එක්දින ශතකය ද විය. හසන් නවාස් (37) සමගින් ලකුණු 97ක ද, අරෆත් මින්හාස් (18) සමගින් ලකුණු 64ක ද සබඳතා ගොඩනැගූ සල්මාන් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.



අවසන් පන්දුවාර කිහිපයේදී සාර්ථක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 26ක් තුළ දවා ගැනීමට සමත් වීම කැපී පෙනිණි. ශාහීන් අෆ්රිඩි අවසන් භාගයේදී ලකුණු රැස් කළ ද, පන්දුවාර 9.5ක් යවමින් ලකුණු 46කට කඩුලු 4ක් දවාගත් ඉෂාන් මාලිංග සහ ලකුණු 59කට කඩුලු 3ක් දවාගත් අසිත ප්‍රනාන්දු පාකිස්තාන ඉනිම පන්දුවාර 49.5කදී ලකුණු 305කට සීමා කළහ. දිල්ෂාන් මධුශංක ලකුණු 67කට කඩුලු 2ක් දවා ගත්තේය.

එංගලන්තය ද සහභාගී වන මෙම තුන්කොන් තරගාවලියේ මීළඟ තරගය ඔක්තෝබර් 20 වැනිදා පාකිස්තානය සහ එංගලන්තය අතර රාවල්පිණ්ඩිහිදීම පැවැත්වීමට නියමිතය. රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වෙනු ඇත.