ශ්රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් මගී ගුවන් යානා මිලදී ගැනීමේ ක්රියාවලියේදී සිදුවූ බව කියන දැවැන්ත මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව ද රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්රකාශ කරන ලදී. මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම නඩුකරයට අදාළව චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විටත් අධිකරණය මගින් නියම කරන ලද රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහේස්ත්රාත්වරයා, අදාළ නඩුව යළිත් ලබන නොවැම්බර් මස 18 වැනිදා කැඳවීමට දින නියම කළේය. එසේම, අදාළ නඩුව කැඳවන දිනය වන විට නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම්, එදිනට ඔහුව අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහේස්ත්රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයා වෙත වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.
