mother-beaten-to-death-for-trying-to-stop-son-from-selling-tv-to-buy-drugs

මත්ද්‍රව්‍ය උවදුර විසින් තවත් එක් අහිංසක මවකගේ ජීවිතය අවාසනාවන්ත ලෙස බිලිගෙන තිබේ. තම දරුවා මත්ද්‍රව්‍ය වෙනුවෙන් නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය රැගෙන යෑමට දැරූ උත්සාහය වළක්වාලීමට යාමේදී, එම පුතුගේම කෲර පහරකෑමට ලක්වූ මවක් අවසන් ගමන් ගිය ශෝචනීය පුවතක් වත්තල පොලිස් වසමට අයත් හේකිත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.




මෙම ඛේදවාචකයට මුහුණ දුන්නේ හේකිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් අට හැවිරිදි සුසිලා ද සිල්වා නමැති කාන්තාවකි. ඇගේ විසිනව හැවිරිදි පුත්‍රයා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් නිවසේ වූ රූපවාහිනී යන්ත්‍රය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කර තිබේ. තම දරුවාගේ මෙම ක්‍රියාව වැළැක්වීමට මව ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු ඇයට දැඩි සේ පහර දී ඇත.

පුතුගේ පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඇය රාගම මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. එහෙත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ ඇය, ඉකුත් 16 වැනිදා පෙරවරුවේදී අවසන් හුස්ම හෙළුවාය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර ඇගේ ඥාතීන්ට භාරදීමට නියෝග කෙරුණි.




මවට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාව මත මෙම සිදුවීමට අදාළ සැකකාර පුත්‍රයා ඒ වන විටත් පසුවූයේ රක්ෂිත බන්ධනාගාරගතවය. කෙසේ වෙතත්, මවගේ මරණයත් සමග මිනීමැරීමේ චෝදනාව යටතේ ඉකුත් 16 වැනිදා පස්වරුවේ ඔහුව නැවත වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී සැකකරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත. වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මහතාගේ අධීක්ෂණය මත, පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් සැරයන් වසන්ත (48908) සහ පොලිස් කොස්තාපල් රණවීර (94046) යන නිලධාරීහු මූලික විමර්ශන මෙහෙයවති.