man-who-sent-agricultural-workers-to-israel-for-bribery-to-the-bribery-commission

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණියේය. ඔහුගේ මෙම පැමිණීම සිදුවන්නේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවට අල්ලස් කොමිසම විසින් ඉකුත් 28 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති පසුබිමකය.




එදින අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ, නිම කරන ලද විමර්ශන ගොනු වැඩිදුර පියවර ගැනීම සඳහා මේ වන විට කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව අදාළ නඩුකරය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.




ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව යළිත් දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට නියෝග කර ඇති අතර, එදිනට එහි ඉදිරි ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියම කළේය.

මෙම නඩුකරයට මුල් වී ඇත්තේ, ඉකුත් රජය පැවති සමයේදී ඊශ්‍රායලයට කෘෂිකාර්මික සේවකයන් යැවීමේ වැඩසටහන යටතේ දේශපාලන හිතවත්කම් මත පදනම්ව පුද්ගලයන් තෝරාගනිමින් බලය අයුතු ලෙස භාවිත කර දූෂණයක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකි.



එම චෝදනාව මත අල්ලස් කොමිසම විසින් මීට පෙර අවස්ථාවකදී මනුෂ නානායක්කාර මහතාව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි.