සමස්ත දිවයිනම අඳුරේ ගිල්වමින් අද (17) පෙරවරුවේ ජාතික විදුලිබල පද්ධතිය මුළුමනින්ම බිඳවැටීමට බලපෑ ප්රධානතම හේතුව මේ වන විට අනාවරණය වී තිබේ. බලශක්ති නියෝජ්ය අමාත්ය අක්රම් ඉල්ලියාස් මහතා තහවුරු කරන පරිදි, මෙම දැවැන්ත අර්බුදයේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයට එල්ල වූ ප්රබල අකුණු සැරයක් හේතුවෙනි.
නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දෙන ආකාරයට, ඉහළ කොත්මලේ බලාගාරයේ ක්රියාත්මක ප්රධාන විදුලි ජනන ඒකක දෙකෙන් එකකට මෙම අකුණු සැර වැදීමත් සමඟ බරපතළ කාර්මික දෝෂයක් හටගෙන ඇත. ඒ හරහා ක්ෂණිකවම ජාතික පද්ධතියේ විදුලි සමතුලිතතාව සහ සංඛ්යාතය බිඳවැටීමෙන් මුළු රටටම විදුලිය අහිමි වීමේ දාම ප්රතික්රියාව නිර්මාණය වී තිබේ.
පෙරවරුවේ හටගත් මෙම හදිසි විදුලි කප්පාදුව සාමාන්ය ජනජීවිතයට එල්ල කළේ දැඩි බලපෑමකි. දිවයින පුරා රෝහල්වල දෛනික කටයුතු, මහාමාර්ගවල රථවාහන සංඥා පද්ධති මෙන්ම අත්යවශ්ය පොදු සේවාවන් රැසක්ම එකවර දැඩි අර්බුදයකට ලක්විය. විදුලිය ඇණහිටීමත් සමඟ ජල පොම්පාගාර අක්රිය වීම හේතුවෙන්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කිරීමට සිදුවිය.
කෙසේ වෙතත්, මේ වන විට අක්රියව පැවති ප්රධාන අධිබලැති සම්ප්රේෂණ ජාලය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලයේ සහ පද්ධති මෙහෙයුම් ඉංජිනේරුවෝ දැඩි පරිශ්රමයකින් අනතුරුව සමත් වී සිටිති. පද්ධති ක්රියාකරු සමාගම නිවේදනය කරන්නේ, ජාතික විදුලි සම්ප්රේෂණ පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම සක්රීය මට්ටමේ පවතින බවයි. කලාප මට්ටමින් උපපොළවල් හරහා ගෘහස්ථ හා වාණිජ පාරිභෝගිකයින් වෙත විදුලිය සපයන බෙදාහැරීමේ පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ද මේ වන විට අඛණ්ඩව ක්රියාත්මක වෙමින් පවතී.
සම්ප්රේෂණ ජාලය යළි පණගැන්වුවද, මෙම විදුලි බිඳවැටීම ජාතික පද්ධතියට ඉතිරි කර ඇති අභියෝගය තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැත. ඉහළ කොත්මලේ සිදුවීමෙන් ජාතික පද්ධතියට ඇතිවූ කම්පනයත් සමඟ, මෙගාවොට් 900ක දැවැන්ත ධාරිතාවකින් යුත් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම එකවර විසන්ධි වී ගොස් තිබේ. එම අක්රිය වූ ගල් අඟුරු ජනන යන්ත්ර යළි පණගන්වා ජාතික පද්ධතියට එක් කිරීමට තවත් දින දෙක තුනක කාලයක් ගතවනු ඇත.