කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගනු ලැබූ කිරිඳිවැල සීකේ සිනමා අධිපතිවරයා හා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා සම්බන්ධ කරමින් පළ වූ මාධ්ය වාර්තාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව මන්ත්රීවරයා අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රජයට සම්බන්ධ පුවත්පත් ආයතනයක සමාජ මාධ්ය ගිණුමක් ද ඇතුළුව තවත් මාධ්ය කිහිපයක් මෙලෙස සම්පූර්ණයෙන්ම අසත්ය පුවත් නිර්මාණය කර ඇති බවයි. දේශපාලන වශයෙන් තම චරිතය ඝාතනය කර නමට කැළලක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්ය වාර්තා පළ කර ඇති බව මන්ත්රීවරයා සඳහන් කරයි.
හුදෙක් පෙළපත් නාමය සමාන වූ පමණින් වෙනත් පුද්ගලයන් සිදු කරන වැරදි තම ගිණුමට බැර කළ නොහැකි බව පවසන රාජකරුණා මහතා, තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවද පැහැදිලි කර තිබේ. සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා තමා බව හෙතෙම එම නිවේදනය හරහා පෙන්වා දෙයි.
වසර 11ක සිය පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසය තුළ කිසිදු දිනෙක මන්ත්රීවරුන්ට හිමිවන නිල ගිනිඅවිය පවා තමන් ලබාගෙන නොමැති බව රාජකරුණා මහතා එහිදී අවධාරණය කර ඇත. එපමණක් නොව, සිය අභාවප්රාප්ත පියාණන් වන සරත් චන්ද්ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනිඅවියක් ළඟ තබාගෙන නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පදනම් විරහිත සහ අසත්ය ප්රචාරයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අදාළ උපදෙස් ලබා දී ඇති බව මන්ත්රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් තහවුරු කර තිබේ.