new-years-eve-princess-dies-after-being-hospitalized-with-stomach-problems

මෙවර ඌරගහ ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උළෙලේදී සිඟිති අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ඇයයි. සාමාන්‍ය උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ එම පස් හැවිරිදි පෙර පාසල් දැරිය පැය තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත හදිසියේම මිය යාමේ ශෝකජනක පුවතක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.




මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ ඌරගස්මං හන්දිය, මහ ඌරගහ, කොටකිළල ප්‍රදේශයේ පදිංචිව සිටි තන්ත්‍රීගමගේ ගෞරි සෙනුල්යා නමැති සිඟිති දියණියයි.

ඌරගස්මංහන්දිය පොලීසිය සඳහන් කරන ආකාරයට, ඉකුත් 17 වැනිදා දහවල් කාලයේදී දැරියට හදිසියේ උදරාබාධයක් හටගෙන ඇත. ඒ අනුව ඇයව කඩිනමින් ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් රෝහල්ගත කර පැය තුනක් පමණ ගතවන විට ඇය මියගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.




මේ තරම් කෙටි වේලාවක් තුළ දැරියගේ මරණය සිදුවීමට බලපෑ නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. ඇල්පිටිය රෝහලේ ප්‍රකාශකයෙකුද තහවුරු කළේ, මරණයට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, එය නිවැරදිවම තහවුරු කර ගත හැක්කේ විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව පමණක් බවත්ය.

මරණය සම්බන්ධයෙන් පවතින මෙම තත්ත්වය හේතුවෙන්, දැරියගේ මරණ පරීක්ෂණය 19 වැනිදා දක්වා කල් දැමීමට ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක ගාමිණී ඩයස් මහතා 17 වැනිදා පස්වරුවේ පියවර ගත්තේය. හදිසි මරණ පරීක්ෂකවරයා පෙන්වා දුන්නේ, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට සැබෑ හේතුව සොයාගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවයි.



ඒ අනුව, හදිසි මරණ පරීක්ෂක ගාමිණී ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය රෝහලේදී අද (19) මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. සිඟිති දැරියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

new-years-eve-princess-dies-after-being-hospitalized-with-stomach-problems