kalutara-dragon-sampath-killer-arrested-with-ice-and-sim-cards

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඝාතනය කර බිරිඳට බරපතළ තුවාල සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් පලා යමින් සිටියදී මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්විය.




මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නාවල්අඩි හන්දිය ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා අදාළ බස් රථය නවතා සිදුකළ සෝදිසියකදීය. අත්අඩංගුවට පත්වන මොහොතේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් හයක් ද සොයාගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී ඇත.

මෙම මෙහෙයුමට හේතු වූ අපරාධය වාර්තා වූයේ පසුගිය සිකුරාදාය. එදින තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරු, නාගොඩ හන්දිය ප්‍රදේශයේ පිහිටි අදාළ අවන්හල වෙත පැමිණ එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පළා ගොස් තිබුණි. වෙඩි ප්‍රහාරයට ලක්වූ අවන්හල් හිමියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.




වෙඩි තැබීමෙන් පසු කොළඹ හරහා දිවයිනේ අනෙක් අන්තයට පලායාමට සැකකරු ගත් උත්සාහය ඒ අනුව ව්‍යර්ථ වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඔහු මේ වන විට වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඊයේ උදෑසන 7.50 ට පමණ කළුතර - මතුගම ප්‍රධාන මාර්ගයේ ගුණතිලකවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළට කඩා වැදුණු මොහු සහ තවක් අයකු විසින් එල්ල කරන ලද අමානුෂික වෙඩි ප්‍රහාරයකින් එම හෝටලයේ හිමිකරු ඩ්‍රැගන් සම්පත් ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පවසන ආකාරයට ටී 56 ගිනි අවියකින් එල්ල කළ මෙම ප්‍රහාරය කෙතරම් බරපතළ වීද යත්, තුවක්කුවේ පතරොම් ගැබ අවසන් වන තුරුම ඝාතකයින් විසින් වෙඩි තැබීම සිදුකර තිබුණි.