investigation-into-kapilas-death-deliberately-delayed---iphone-data-expires-in-90-days

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශනවල මන්දගාමී ස්වභාවය දැඩි දෝෂදර්ශනයට ලක්කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඒ පිළිබඳව සිය අප්‍රසාදය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට ඊයේ (14) නියෝග කළේය.




විශේෂයෙන්ම, සැකකටයුතු අන්දමින් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගනු ලැබූ චන්ද්‍රසේන මහතාගේ ‘ඇපල්’ (Apple) වර්ගයේ ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සිදුකරන විමර්ශන සෑහීමකට පත්විය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

පසුගිය මැයි 08 වැනිදා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම මාසයක් ඇතුළත අවසන් කළද, තීරණාත්මක සාක්ෂි වන රස පරීක්ෂක වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ජංගම දුරකථන දත්ත තවමත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී තිබේ.




"අධිකරණයට විතරක් මේ ක්‍රියාවලිය තනිවම කරන්න බෑ," යනුවෙන් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව දැඩිව පෙන්වා දුන්නේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, ජංගම දුරකථන දත්ත ඉල්ලා අගෝස්තු 11 වැනිදා (තවත් වාර්තාවක අගෝස්තු 18 ලෙසද දැක්වේ) අධිකරණ අමාත්‍යාංශය හරහා ඇමරිකාවේ ඇපල් සමාගම වෙත ඊමේල් පණිවිඩයක් යොමු කළ බවයි. අදාළ දත්ත සුරක්ෂිතව තබාගත හැක්කේ දින 90ක කාලයක් පමණක් බව එම සමාගම දැනුම් දී ඇති අතර, ඉන්පසු ප්‍රතිචාරයක් නොමැති බැවින් යළි සිහිකැඳවීමක් කළ බව පොලිසිය ප්‍රකාශ කළේය. එම දින 90ක කාලය නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.



මේ අවස්ථාවේදී පොලිසියෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, "මාස තුන අවසන් වුණාම දත්තත් ඉවරයි, විමර්ශනත් ඉවරයි ද?" යනුවෙන් විමසා සිටියේය. මෙවැනි තීරණාත්මක දත්ත ලබාගැනීමේ අපහසුතාවක් ඇත්නම් ඒ බව පොලිස්පතිවරයාට හෝ නීතිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්දැයි විමසූ මහේස්ත්‍රාත්වරයා, වහාම ඔවුන් දැනුවත් කර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

එමෙන්ම, මරණකරු මියගොස් සිටි ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ වර්ග හතර සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ සාම්පලවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. දුරකථනයෙන් කළ විමසීමකදී, එම වාර්තා ලබාදීමට තවත් සති දෙක තුනක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. ඊට අමතරව, සිද්ධියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද මෙතෙක් පොලිසියට ලැබී නොමැත.

ඒ අනුව, අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙස දන්වමින් හදිසි මරණ පරීක්ෂකවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට යළිත් සිහිකැඳවීම් යොමුකරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබිණි.

මෙම නඩුවට අදාළ පශ්චාත් පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය මින් ඉහතත් වාර්තවූ අතර ජූලි 8 වනදා වාර්තාවූයේ රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් කැඳවීමට මහේස්ත්‍රාත් මින් ඉහතත් නියෝග කළ බවකිත