international-school-principal-granted-bail-for-molesting-eleven-year-old-child

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි ජාත්‍යන්තර පාසලක නේවාසිකාගාරය සිය එකොළොස් හැවිරිදි පිරිමි දරුවාට ආරක්ෂිත වටපිටාවක් වනු ඇතැයි ඒ මව සිතන්නට ඇත. එහෙත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා, අධ්‍යක්ෂවරයා, නේවාසිකාගාර පාලකවරයා මෙන්ම විද්‍යා හා ගණිත ගුරුවරයා ලෙස ද කටයුතු කළ පුද්ගලයාගේ අඳුරු අතීතය ඇය දැන සිටියේ නැත.

ළමා අපචාර චෝදනාවක් මත මීට පෙරද අත්අඩංගුවට පත්ව, පුවත්පත් දැන්වීම් මගින් සිය නම පවා වෙනස් කරගෙන සමාජයෙන් වසන් වී සිටි ඔහු, මෙවර නීතියේ දැලට කොටු වන්නේ දරුවෙකුට කළ බරපතළ ලිංගික අපයෝජනයක රහස් හෙළි කරමිනි.




මෙම සිද්ධිය අනාවරණය වීමේ ආරම්භය සනිටුහන් වන්නේ පසුගිය මස 17 වැනිදා ය. අදාළ ජාත්‍යන්තර පාසලේම අධ්‍යාපනය ලබන වෙනත් දරුවකුගේ පියෙකු විසින් අතවරයට පත් දරුවාගේ පියාට හදිසි දුරකථන ඇමතුමක් ලබා දෙන ලදී. ඉන් කියැවුණේ විදුහල්පතිවරයාගේ පහරදීමක් හේතුවෙන් දරුවාගේ අත්වලට තුවාල සිදුවී ඇති බවයි. වහාම පාසල වෙත පැමිණි පියා, සිය දරුවා රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික් මහ රෝහලකට ඇතුළත් කළේය.

රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂාවේදී, පහරදීමකට එහා ගිය බරපතළ තත්ත්වයක සලකුණු මතු විය. දරුවාගේ අත් දෙකේ වැලමිට දක්වා පහළින් ඇතුළු අත්ල දක්වා දක්නට ලැබුණු වේවැල් පහරවල් සහ ඉදිමීම්වලට අමතරව, දරුවාගේ පුරුෂ ලිංගයේ වියළී ගිය තුවාල කැලැල් පවතින බව වෛද්‍ය වාර්තාවේ සටහන් විණි. ඉන් දිනකට පසු, එනම් 18 වැනිදා රෝහල් පොලිස් මුරපොළේ නිලධාරීන් දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අතර, රාත්‍රී කාලයේදී විදුහල්පතිවරයා තමන්ව කාර්යාලයට සහ නාන කාමරයට රැගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බව දරුවා එහිදී අනාවරණය කළේය.




අදාළ ප්‍රකාශය කැස්බෑව පොලිසිය වෙත යොමු කිරීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුර විමර්ශනවලදී පොලිසිය අධිකරණය හමුවේ අනාවරණය කළේ මෙය ඔහුගේ පළමු වැරැද්ද නොවන බවයි. 2019 වසරේ සැප්තැම්බර් 22 වැනිදා ද මේ ආකාරයේම ළමා අපචාර චෝදනාවකට පිළියන්දල පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සිද්ධියෙන් පසු පුවත්පත් දැන්වීම් පළකර සිය නම වෙනස් කරගෙන ඇති ඔහු, මෙලෙස ජාත්‍යන්තර පාසලක ප්‍රධාන තනතුරු රැසක් හොබවමින් සිට ඇත.

කැස්බෑව ප්‍රදේශයේ පිහිටි මෙම පාසලේ නේවාසිකාගාරය තුළ තවත් දරුවන් දස දෙනෙකු පමණ රැඳී සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඉන් දරුවන් තිදෙනෙකුගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් එම ප්‍රකාශ ලබා දී ඇත්තේ දැඩි බියකින් බව වාර්තා වේ. මේ අතර, මෙම සිදුවීම් මාලාවෙන් පසු අතවරයට පත් දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට මව පැමිණි අවස්ථාවේදී සැකකරු ඊට ඉඩ ලබා දී නැත. අවසානයේදී පරිවාස දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දරුවාගේ අස්වීමේ සහතිකය ලබා ගැනීමට මවට සිදුව තිබේ.



දින 17ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාර පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදා හැරීමට කැස්බෑව මහේස්ත්‍රාත් ජානක සමරසිංහ මහතා නියෝග කළේය. කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. පී. කලංසූරිය මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක කාංචනා මාලියද්ද සහ නඩු කටයුතු භාර පොලිස් සැරයන් ජෙස්ෆර් (66455) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති. නඩුව යළි දෙසැම්බර් මස 01 වැනිදා කැඳවීමට නියමිතය. නම වෙනස් කරමින් සමාජයට වසන් වූ අතීතයක තොරතුරු ද, තවත් දරුවන්ගේ බියපත් ප්‍රකාශ ද කැටුව නීතියේ ඉදිරි පියවර එදිනට තීරණය වනු ඇත.