පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සීසීටීවී දර්ශන පෙළක් මුල් කරගනිමින්, කොළඹ කිංග්ස්බරි හෝටලයට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට හිටපු මහජන ආරක්ෂක අමාත්ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර කටයුතු කර තිබේ. මෙම නෛතික පියවර ගෙන ඇත්තේ, තම සේවාදායකයන්ගේ පෞද්ගලිකත්ව ප්රතිපත්ති උල්ලංඝනය කරමින් හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පිටතට ලබා දීම සහ ඒවා මහජනතාවට වැරදි වැටහීමක් ඇති වන අයුරින් සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙනි.
අදාළ සිදුවීම පසුගිය 24 වැනිදා හිටපු අමාත්යවරයා එම හෝටලයට ගිය අවස්ථාව පදනම් කරගනිමින් නිර්මාණය වූවකි. සරත් වීරසේකර චෝදනා කරන්නේ, තමා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට එකම වෙලාවක හෝ ආසන්න වේලාවක ඇතුළු වූ බවට හැඟවෙන ආකාරයෙන් මුල් දර්ශන වෙනස් කර අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බවයි.
කිසිදු හෝටලයක් සිය සේවාදායකයාගේ එකඟතාවයකින් තොරව අභ්යන්තර සීසීටීවී දර්ශන බාහිර පාර්ශ්ව වෙත නිකුත් කිරීම බරපතල තත්ත්වයක් බව අදාළ එන්තරවාසියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩාවකට පත්ව ඇති බවත්, තම කීර්තිනාමයට ඉන් දැඩි හානියක් සිදුව ඇති බවත්, තමන් අන්තර්ජාල හිරිහැරවලට ලක්ව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබේ.
මෙම අගතිය වෙනුවෙන් හෝටල් පරිපාලනය වගකීම භාරගත යුතු බව පෙන්වා දෙන හිටපු අමාත්යවරයා, ඊට වගකිවයුතු පුද්ගලයින් හඳුනාගෙන, ප්රසිද්ධියේ සමාව අයැද, අදාළ දර්ශන ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම් දින 7ක් ඇතුළත ඉටු කිරීමට කිංග්ස්බරි හෝටලය අපොහොසත් වුවහොත්, අපහාස කිරීම, පෞද්ගලිකත්වයට අයුක්ති සහගත ලෙස ඇඟිලි ගැසීම සහ කීර්තිනාමයට හානි කිරීම යන චෝදනා යටතේ රුපියල් මිලියන 100ක වන්දි මුදලක් අපේක්ෂාවෙන් නඩු පවරන බවට ඔහු අනතුරු අඟවා තිබේ.
මෙම නෛතික පියවරයන්ට අමතරව, සිදුවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසියට, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාවට සහ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ද පැමිණිලි කිරීමට කටයුතු කරන බව රියර් අද්මිරාල් සරත් වීරසේකර සිය එන්තරවාසිය හරහා හෝටල් බලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත.