සංශෝධිත බන්ධනාගාර නියෝග යටතේ චීවරය සහිතව ඔක්තෝබර් 23 වැනිදා අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එදින අධිකරණයට ඉදිරිපත් නොකෙරේ. ඥානසාර හිමියන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්යතාවක් නොමැති බවට අධිකරණය විසින්ම දැනුම් දී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
මේ බව බුද්ධ ශාසන අමාත්යාංශය විසින් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා පෙන්වා දෙන්නේ, අධිකරණයේ අදාළ දැනුම්දීම මත පදනම්ව ඒ පිළිබඳව මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත් බවයි. කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ද තහවුරු කළේ, අතිපූජ්ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේ වෙත බුද්ධ ශාසන අමාත්යාංශය විසින් අදාළ දැනුම්දීම සිදු කළ බවයි.
නව බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව ඥානසාර හිමියන්ට ඔක්තෝබර් 23 වැනිදා චීවරයෙන් යුතුව අධිකරණයට පැමිණීමට අවස්ථාව සැලසී ඇති බවට බුද්ධශාසන අමාත්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා මීට පෙර අනාවරණය කර තිබිණි. නීතිමය ක්රියාවලිය තුළදී ආගමික අනන්යතාවයට අදාළ නියමිත පටිපාටිය නිසි ලෙස ඉටුකිරීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් පැවති අතර, ඥානසාර හිමියන් චීවරයෙන් යුතුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු වඩාත් සුදුසු වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව උපදෙස් පතමින් බුද්ධශාසන කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබුණි.
මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේගෙන් ලබාගන්නා එම උපදෙස් හා මාර්ගෝපදේශ මත පදනම්ව, අදාළ කටයුත්ත සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කිරීමට බුද්ධශාසන කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂාවෙන් පසුවූ පසුබිමක, අධිකරණය විසින් සිදු කළ මෙම දැනුම්දීමත් සමඟ සැලසුම් කර තිබූ අදාළ අධිකරණ ඉදිරිපත් කිරීම මෙලෙස අත්හිටුවා ඇත.