gnanasara-thero-was-sentenced-to-5-years-and-5-months-in-prison-again-for-the-incident-in-homagama-court-in-2016-when-he-shouted-po-in-front-of-the-judge

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි වසර 5 මාස 5 කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (5) නියම කළේය. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියමය දන්වා සිටින ලදි.




එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2016 වසරේදී කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2018 ව‍සරේ ජුලී මසදී වසර 6 ක සිර දඩුවම් නියමවූ නමුත් ඒ කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා දින 52 ආණ්ඩුවක් සඳහා රාජපක්ෂ කඳවුර වෙත යොමුවූ වකවානුවක් නිසාදෝ ඥානසාර හිමි ජනපති සමාව යටතේ මාස 7 ක් වැනි කෙටි කාලයකින් නිදහස් කර හැරියේය.

හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට තීන්දුව ලබාදෙමින් 2018 වසරේදී මෙම දඩුවම මුලින් පනවනු ලැබිණි.වසර 19ක සිරදඬුවමක් වසර 6 ගෙවී යන ලෙස දඬුවම ලබාදීමට අධිකරණය නියෝග කළේය. එම තීන්දුව ලබාදෙන අවස්ථාවේදීත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් අධිකරණය මගහරින්ට හිමියන් කටයුතු කිරීම විශේෂිත විය.




කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණය හමුවෙහි 2016 සිදුවූ සිදුවීම 2018 අධිකරණයේදී මෙසේ විස්තර කර තිබුණි.

‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. 2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී කරුනු දැක්වීම් විමසා මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා.ටිකකින් වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ සමඟම විශේෂ දෙයක් සිදු වුනා. අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට ගත්තා.



මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ කෑගසමින් සිටියා. අධිකරණයේ අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ. මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා. එම ප්‍රකාශය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා. 

එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ පොxxxයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.

මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේනීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිබුණා.

එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.‘‘

1. අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම,
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
3. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දීමට බල කිරීම තුළින් අධිකරණයට බලපෑම් කිරීම.
4. අධිකරණ කටයුතුවලට සහාය වීම සදහා නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ (වර්තමානයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) දිලීප පීරිස් මහතාට බැණ වැදීම මගින් අධිකරණයට අපහාස කිරීම
එම චෝදනාය.
මේ සම්බන්ධයෙන් පැවැති වසර 2 ක දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පිටු 53කින් යුත් තීන්දුවක් 2018 ජූලි මස ප්‍රකාශයට

පත්කළ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට එරෙහි සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් උන්වහන්සේ අදාළ චෝදනා හතරටම වරදකරු බවට තීරණය කළේය.

ඒ අනුව 01 සහ 02 චෝදනාවලට වසර හතර බැගින්ද, 03 චෝදනාවට වසර 06ක්ද, 04 වැනි චෝදනාවට වසර 05ක්ද බැගින් චෝදනා හතරට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අභියාචනාධිකරණය, එය වසර 06 කාලයක් තුළ ගෙවීම යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය. 

අද නියම කර ඇත්තේ මාස 7 කින් නිදහස් වූ පසු ඉතිරි වසර වසර 5 මාස 5 ශේෂය සඳහා සිර දඩුවමයි.

 දීර්ඝ නඩු විභාගයෙන් ලබාදුන් තීන්දුව ඉතා ඉක්මණින් වාසි පැත්තට හරවාගෙන නිදහස ලැබූ ඥානසාර හිමි ඉන් පසුවත් විවිධ අනීතික ක්‍රියා නිසා නඩු වලට පැටළුණි. තවත් නඩුවකින්ද වරෙන්තු නිකුත් කර තිබේ.