
මහනුවර දළදා මාලිගාව අබියසින් ඇරඹුණු ඒ අපූරු පාගමන බැලූ බැල්මටම සුවිශේෂී දසුනක් විය. අව් කණ්ණාඩියක් පැළඳ, නාගයෙකුගේ රුව කැටයම් කළ අලංකාර ලී බස්තමක් අතැතිව ගමන් කළ මෙම 'චීවරධාරියා' පෙනී සිටියේ සිංහල බෞද්ධයන් අවදි කිරීමේ මෙහෙයුමකට අතගැසූ නායකයෙකු ලෙසිනි.
එහෙත් "සිවුරට යුක්තිය ඉල්ලමින්" කොළඹ බලා ඇරඹි මේ ගමනට පැය හයක්වත් ගතවන්නට මත්තෙන්, එය බරපතළ දේශපාලන හාස්යයක් බවට පත්වූයේ සමාජ මාධ්ය තුළින් ඔහුගේ සැබෑ අනන්යතාවය හෙළිදරව් වීමත් සමගිනි.වාර්තා වන ආකාරයට සහ සමාජ මාධ්ය තොරතුරු ඔස්සේ තහවුරු වී ඇති පරිදි, මෙම පුද්ගලයා කිසිසේත්ම භික්ෂූන් වහන්සේ නමක් නොවේ. ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අම්බලන්ගොඩ හිටපු නාගරික මන්ත්රී ග්රේෂන් කෙරමිනියගේ ය. මීට පෙරද රාජපක්ෂවරුන් වෙනුවෙන් විවිධ උද්ඝෝෂණ සංවිධානය කළ අයෙකු බවට ඔහුගේම සමාජ මාධ්ය ගිණුම්වල ඇති ඡායාරූප සාක්ෂි දරයි.
ඔහුගේ පාගමනේ ජාතික සංවිධායකවරයා පවසා තිබුණේ මෙය දේශපාලන පක්ෂ භේදයකින් තොරව, "සිංහල බෞද්ධකම ඇඟේ තියෙන එළ ලේ තියෙන" ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි ගමනක් බවයි. කඩුගන්නාව පාරමිතා බෞද්ධ මධ්යස්ථානයෙන් ආරම්භ කර කෑගල්ලේ නතර වී කොළඹ දක්වා යාම ඔවුන්ගේ සැලසුම විය. එහෙත් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණක් සමන්විතව පාගමන ආරම්භ කරද්දී ඒ පිළිබඳව මාධ්යවේදීන් නැගූ ප්රශ්න කිරීම් හමුවේ ඔහු මාධ්යයට බැනවැදුණු බවද වාර්තා වේ.
මේ වනවිට මෙම රඟපෑම සමාජ මාධ්ය තුළ දැඩි පිළිකුලට මෙන්ම උපහාසයටද ලක්වෙමින් පවතී. අම්බලන්ගොඩ "දන්දිනා දේවාලයේ" කපුවෙකු ලෙසද, "පහනට තෙල්" නැමැති ජාතික සංවිධානයේ ප්රධානියෙකු ලෙසද කටයුතු කරන මොහු, මීට පෙර පවසා තිබුණේ රුවන්වැලි සෑයේ දේවතාවියක් වී සිටින දන්දිනා නැමැත්තියක් රාත්රියට සිහිනෙන් පැමිණ තමන්ට තොරතුරු ලබාදෙන බවයි.
මෑතකදී ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් පැවැත්වූ පාගමනට ලැබුණු මාධ්ය අවධානයට සමාන අවධානයක් ලබාගැනීමේ අරමුණින් ඔහු මෙම ක්රියාව සිදුකරන බවට සමාජ මාධ්ය තුළින් චෝදනා එල්ල වේ. බොහෝ දෙනා මෙය හඳුන්වා ඇත්තේ රාජපක්ෂ පවුලේ අපරාධ නඩු කණපිට ගැසීමේ අරමුණින් බුද්ධ චීවරය යොදාගෙන සිදුකරන නින්දිත "දේශපාලන නාඩගමක්" ලෙසිනි.
දේශීය ශිල්පීන් විසින් වටිනා ලී වර්ග භාවිතයෙන් නිර්මාණය කරන සාම්ප්රදායික සංකේතයක් වන නාග බස්තමත්, බෞද්ධ චීවරයත් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙලෙස යොදාගැනීම කෙරෙහි දැඩි විවේචන එල්ල වෙමින් පවතී. "නිදාගෙන සිටින හෙළයෝ අවදි කරන්නට" ගිය මේ පාගමන, සමාජ මාධ්යයේ විමසිලිමත් දෑස් හමුවේ පැය කිහිපයකින්ම අවසන් වූයේ තවත් එක් අසාර්ථක දේශපාලනික වෙස්ගැන්වීමක් සමාජය හමුවේ නිරුවත් කරමිනි.