false-accusations-against-the-minister-of-buddhism

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරක් කාලයත් සමඟ කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ද ඇතිව කෙතරම් සංවිධානාත්මකව පරිණාමය විය හැකිද යන්නට මෑතකාලීන හොඳම නිදසුනක් බවට වත්මන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉලක්ක කරමින් නිර්මාණය වූ සාවද්‍ය පුවතක් පත්ව තිබේ. කිසිදු සාක්ෂියක් නොමැතිව 2024 වසරේදී සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ හුදු කියමනක්, 2026 ඔක්තෝබර් මාසය වන විට සම්මානනීය පොතක් ලෙසත්, අවසානයේදී කෘත්‍රිමව නිර්මාණය කළ පොත් කවරයක් දක්වාත් වර්ධනය වී ඇත.




මෙම ව්‍යාජ මෙහෙයුමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2026 ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රියේදීය. එදින රාත්‍රී 10.01ට පමණ "Ceylon" නමැති ෆේස්බුක් පිටුවක, බුද්ධශාසන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සමඟින් කළු පැහැති පොත් කවරයක රූපයක් පළ විය. "මේ පොත ලියපු කෙනා තමයි අද බුද්ධ ශාසන ඇමති" යන පාඨය ද සහිතව පළ වූ එම සටහනේ දැක්වුණේ, අමාත්‍යවරයා විසින් "සිදුහත් ආත්මාර්ථකාමියෙක්" නමින් ග්‍රන්ථයක් රචනා කර ඇති බවයි. පසුදින වන විට අදාළ පින්තූරයේ පොත පමණක් කපා ගත් රූපයක්, සැබෑ පොතක ඡායාරූපයක් ලෙස පෙන්වමින් වට්ස්ඇප් (WhatsApp) ජාලය හරහා ද වේගයෙන් සංසරණය වන්නට විය.

එහෙත් මෙම සටහන් පිටුපස ඇති සත්‍යය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ, මෙය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සිදුකරන ලද රූපමය විකෘතියක් බවයි. මෙම ව්‍යාජ පොත් කවරය නිර්මාණය කිරීමේදී එහි සිංහල අකුරු පවා නිසි ලෙස ගළපා ගැනීමට නිර්මාණකරුවන්ට හෝ අදාළ තාක්ෂණයට හැකියාවක් ලැබී නැත. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ද තහවුරු කර ඇති පරිදි අමාත්‍යවරයාගේ නිවැරදි නම 'හිනිදුම සුනිල් සෙනෙවි' වුවද, කවරයේ කතුවරයා ලෙස සටහන් වී ඇත්තේ "හිනිදුමු" ලෙසිනි. එමෙන්ම සමාජ මාධ්‍ය සටහන්වල පොතේ නම "සිදුහත් ආත්මාර්ථකාමියෙක්" ලෙස සඳහන් කර තිබුණද, කවරයේ රතු අකුරින් මුද්‍රණය වී ඇති ආකාරයට දිස්වන්නේ "ආත්මාර්ථකාමියෙන්" යන අර්ථ විරහිත පදයකි. අදාළ රූපය AI හඳුනාගැනීමේ මෙවලම් හරහා පරීක්ෂා කිරීමේදී, එය සියයට 99 කට වඩා වැඩි සම්භාවිතාවකින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන්ම සැකසූවක් බවට තහවුරු වී තිබේ.




ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවලින් සිය උපාධි සහ ආචාර්ය උපාධිය ලබා, සබරගමුව විශ්වවිද්‍යාලයේ දශක දෙකකට අධික කාලයක් සේවය කළ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙරට ප්‍රකට සාහිත්‍ය විචාරකයෙකු, තිර රචකයෙකු මෙන්ම කතුවරයෙකු ද වෙයි. කොළඹ ඉතිහාසය, සිංහල කෙටිකතාව හා සිනමාව, කොළඹ කවිය වැනි විෂයයන් අලළා ඔහු ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති බව ශ්‍රී ලංකා ජාතික පුස්තකාල ඒකාබද්ධ නාමාවලියෙන් මෙන්ම ජාත්‍යන්තර පොත් දත්ත සමුදායන්ගෙන් ද තහවුරු වේ. එහෙත් එම කිසිදු නිල දත්ත ගොනුවක හෝ අන්තර්ජාලය තුළ "සිදුහත් ආත්මාර්ථකාමියෙක්" නමින් ඔහු ලියූ කෘතියක් තබා, වෙනත් කිසිදු කතුවරයෙකු ලියූ එවැනි නමක් ඇති පොතක් හෝ සොයාගැනීමට නැත. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ද පැහැදිලිවම තහවුරු කර ඇත්තේ අමාත්‍යවරයා කිසිදිනෙක එවැනි පොතක් රචනා කර නොමැති බවයි.

මෙම ව්‍යාජ පොත් කවරය නිර්මාණය කිරීම හුදෙකලා සිදුවීමක් නොවන අතර, එය අමාත්‍යවරයාගේ ආගමික පසුබිම ඉලක්ක කරමින් ගොඩනැගූ සංවිධානාත්මක මෙහෙයුමක එක් අදියරක් පමණි. ඔහු කතෝලිකයෙකු බවටත්, බෞද්ධයෙකු නොවන බවටත්, දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කළ බවටත් මීට පෙරද අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. තමන්ගේ බෞද්ධ පසුබිම ප්‍රශ්න කරමින් පතුරුවන මෙවැනි මුසාවාද සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඔක්තෝබර් 30 වැනිදා ද විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එදිනම, අමාත්‍යවරයාට එරෙහිව සමාජ මාධ්‍යයේ පැතිරෙන වෙනත් ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් ද යොමු කර තිබිණි.



2024 නොවැම්බරයේදී කිසිදු මූලාශ්‍රයක් නොමැතිව "සිද්ධාර්ථ ආත්මාර්ථකාමියෙක්" යනුවෙන් පළවූ සටහන්, 2026 ඔක්තෝබර් 08 වැනිදා වන විට "රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට පොත් ලියා සම්මාන ගත්" බවට ව්‍යාජ ලෙස වර්ධනය වී, අවසානයේ කිසිදිනෙක මුද්‍රණය නොවූ අතත්‍ය රූපයක් හරහා සැබෑ පොතක් ලෙස සමාජගත කිරීමට දරන ලද උත්සාහය, වර්තමාන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු ගොඩනැගෙන ආකාරය පිළිබඳ බරපතළ සත්‍යයක් විවර කර පෙන්වයි.

මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හානි කිරීමට කටයුතු කරන 'නිලන්ත සත්සර ගම‍ගේ' ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර, මෙම ව්‍යාජ පුවත සංසරණය වීම වැළැක්වීමටත්, නිරවද්‍ය තොරතුරු මහජනතාව අතරට ගෙනයෑමටත් අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස මාධ්‍ය ලේකම්වරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.