
පසුගිය 25 වැනිදා අලුයම හෝමාගම පිටිපන මංසන්දියේදී අත්අඩංගුවට ගැනුණු 29 හැවිරිදි තරුණයෙකුගේ ඉරණම තීරණය වීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි. කිරිවත්තුඩුව මුනමලේ වත්ත 17 වන පටුමගේ අංක 1913/ ඩී හි පදිංචිව සිටි ෆ්රැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නැමැති මෙම විවාහක එක්දරු පියා, හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී අභිරහස් ලෙස මියයාම මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සමාජයේද දැඩි කතාබහක් නිර්මාණය කර ඇති බරපතළ සිදුවීමක් බවට පත්ව තිබේ.
අයිස් මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඉෂාර සහ ඔහුගේ මිතුරෙකු වන මධුශංක පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හෝමාගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසිනි. පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව මුලින් පොලිසිය ප්රකාශ කළද, මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ඛේදනීය කතාවකි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාර සිය නිවසට දුරකතනයෙන් අමතා තමන්ට පොලිසියෙන් පහර දුන් බව පවසා ඇත. ඒ අනුව ඔහුගේ ඉල්ලීම මත බිරිඳ පියුමි නිසංසලා සහ සහෝදරිය කවීෂා තිලක්ෂණි සිද්ධාලේප කුප්පියක් සහ පැනඩෝල් රැගෙන පොලිසියට පැමිණ තිබුණි. බිරිඳ පවසන පරිදි, ඇය පොලිසියේ ශාලාවක රැඳී සිටියදී ඉෂාර සහ ඔහුගේ මිතුරා මාංචු පිටින් අපරාධ අංශය වෙත රැගෙන ගොස් ඇත. ඉන් සුළු වේලාවකට පසු ඔවුන් දෙදෙනා වේදනාවෙන් කෑගසන හඬ බිරිඳට මෙන්ම සහෝදරියටද ඇසී තිබේ. පැයකට පමණ පසු පොලිස් නිලධාරීන් විසින් ඉෂාරව බිම දිගේ ඇදගෙන විත් සිරමැදිරියට දමා ඇති අතර, ඒ වන විටත් ඔහුගේ මුවින් රුධිරය ගලමින් උදරයේ නිල් පැහැති තැලුම් පැල්ලම් තිබූ බව බිරිඳ චෝදනා කරයි. තමන්ගේ සැමියාට කිසිදු රෝගයක් නොතිබූ බව පවසන ඇය, මේ ආකාරයට අමානුෂික ලෙස පහර දී ඔහුව ඝාතනය කර ඇති බවට චෝදනා නගන්නීය.
මෙම මරණයත් සමග හෝමාගම පොලිසියේ අභ්යන්තර ක්රියාපටිපාටියේ බරපතළ බිඳවැටීම් රැසක් ද අනාවරණය වී තිබේ. මියගිය තරුණයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුව, හෝමාගම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත් මහතා විසින් මූලික විමර්ශනයක් සිදු කරන ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නීත්යානුකූලව සිරමැදිරිය භාරව සිටි උපසේවක නිලධාරියා වෙත ලිඛිතව භාර දී නොමැති බවයි. එසේම, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ආ සැකකරු, කිසිදු නීත්යානුකූල භාරගැනීමකින් තොරව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් සිය අංශය වෙත රැගෙන ගොස් ඇති බවද තහවුරු විය.
සිද්ධියේ බරපතළකම සලකා මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාට දුන් නියෝගයකට අනුව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. ඒ අනුව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සහ එදින උපසේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට ඔක්තෝබර් 26 වැනිදා සිට පියවර ගැනුණි.
මෙම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන එක් නිලධාරියෙකු හිටපු නියෝජ්ය පොලිස්පතිවරයෙකුගේ පුතෙකු වන අතර, ඔහු මීට පෙරද මෙවැනි පහරදීම් සම්බන්ධ චෝදනාවලින් ගැලවී ඇති අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇත. මීට අමතරව, විශේෂ ශ්රේණියේ මූලස්ථාන පොලිසියක් වන හෝමාගම පොලිසියට වර්තමාන ස්ථානාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්ද ගැටලු මතු වී තිබේ. ඔහු බී ශ්රේණියේ පොලිසියක් වූ වනාතවිල්ලුවෙන් මාරු කර එවන ලද්දක් වන අතර, ඔහුට එරෙහිව චෝදනා පත්රයක් ද පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම සිදුවීමට ස්ථානාධිපතිවරයාගේ අවිධිමත් ක්රියාකලාපයද බලපා ඇති බව එම නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.
මේ අතර, ඉෂාර සමග අත්අඩංගුවට ගත් මධුශංක නමැති මිතුරාටද පොලිසිය තුළදී පහර දී ඇති බවට ඉෂාරගේ බිරිඳ චෝදනා කරයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමේ ප්රධානතම සාක්ෂිකරුවකු වන ඔහුව වෛද්ය පරීක්ෂණයකට යොමු නොකර කඩිනමින් බන්ධනාගාරගත කර තිබීම නීතිමය ගැටලුවක් මෙන්ම සාක්ෂි වසන් කිරීමේ අවදානමක්ද මතු කර ඇත.
අධිකරණ ක්රියාවලියට අනුව, හෝමාගම වැඩබලන මහේස්ත්රාත්වරිය රෝහලට සහ පොලිසියට පැමිණ ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු, පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙස නියෝග කළාය. ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්ය රවී නානායක්කාර මහතාගේ උපදෙස් මත අධිකරණ වෛද්ය චාමර කරුණාතිලක මහතා ඇතුළු වෛද්ය කණ්ඩායමක් විසින් 27 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.
මියගිය තරුණයාගේ හිස අභ්යන්තරයේ රුධිර වහනයක්, ගෙලෙහි අස්ථි බිඳීමක් සහ තට්ටම් ප්රදේශයට පොල්ලකින් එල්ල කළ බවට සැක කෙරෙන පහරදීම්වල සලකුණු පවතින බවට තොරතුරු ඉදිරිපත් වුවද, අධිකරණ වෛද්යවරුන් විසින් මරණයට නිශ්චිත හේතුවක් නොදක්වා එය විවෘත තීන්දුවක් ලෙස ප්රකාශයට පත් කර ඇත. අවසන් තීරණය ගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, දේහය භූමදානය සඳහා කළුබෝවිල රෝහල විසින් බිරිඳ වෙත භාර දී තිබේ.
මෙම විවෘත තීන්දුව හේතුවෙන් අදාළ මරණය ඝාතනයක් ලෙස සලකා සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගැනීමේ නීතිමය බාධාවක් නිර්මාණය වී ඇත. රස පරීක්ෂක වාර්තාව ලැබීමට තවත් කාලයක් ගතවනු ඇති අතර, පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සහ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට පවරා තිබේ. සාමාන්ය වැසියෙකු අතින් මෙවැනි අපරාධයක් සිදුවූයේ නම් වහාම අත්අඩංගුවට ගැනීම් සිදුවන පසුබිමක, විවෘත තීන්දුවක් මත නීතියේ ක්රියාකාරීත්වය පමා වීම පිළිබඳව බරපතළ ප්රශ්නයක් මතුව ඇත. පවුලකට සිය ආදරණීය සැමියා සහ පියා අහිමි වී ඇති අතර, ඉෂාරගේ අභිරහස් මරණයට සැබෑ යුක්තිය ඉටුවන්නේද යන්න දැන් රඳා පවතින්නේ ඉදිරි පොලිස් විමර්ශන සහ රස පරීක්ෂක වාර්තාව මත පමණි.