මවකගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට රුපියල් කෝටියකට අධික මුදලක් ගෙවා ප්රතිකාර ලබාදීමෙන් පසු, ඇයගේ අභාවයත් සමඟ එම දියණියට මුහුණදීමට සිදුවූයේ අනපේක්ෂිත නෛතික අර්බුදයකටය. රෝහල් බිල්පතේ ඉතිරි මුදල වන රුපියල් කෝටියකට අධික මුදලක් ගෙවීම පැහැර හැරියේ යැයි චෝදනා ලබමින් අධිකරණය හමුවට පැමිණීමට මෙන්ම, මවගේ මෘත දේහය ලබාගැනීම සඳහා පොලිසියේ සහ අධිකරණයේ පිහිට පැතීමට ද අවසානයේ ඇයට සිදු විය.
මෙම සිද්ධියට අදාළව වංචනික ලෙස රෝහල් ගාස්තු අයථා පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වූ දියණිය වන නාවල ප්රදේශයේ පදිංචි එන්. එෆ්. රාජකරුණා නමැත්තිය ඊයේ (29) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයට කැඳවා තිබිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජික් හීල්ලගේ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය, සැකකාරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළාය.
අධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා පත්රයට අනුව, 2026 අගෝස්තු 27 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා කාලය තුළ අදාළ පෞද්ගලික රෝහලෙන් ලබාගත් වෛද්ය හා රෝහල් සේවා වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල රුපියල් 2,24,06,313 කි. ඉන් රුපියල් 1,18,00,000 ක මුදලක් විත්තිකාරිය විසින් ගෙවා ඇති අතර, රෝහලෙන් ඇයට රුපියල් ලක්ෂ දහයක වට්ටමක් ද ලබා දී තිබේ. එහෙත් ඉතිරි රුපියල් 1,06,06,313 ක මුදල ගෙවීම පැහැර හරිමින් එය වංචනික ලෙස අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ සෙන්ට්රල් ආයතනයේ කළමනාකාරිණී සමාලි චතුරිකා කරුණාරත්න මහත්මිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජික් හීල්ලගේ මහතා පෙන්වා දුන්නේ පෞද්ගලික පැමිණිල්ලකදී සම්පූර්ණ කළ යුතු නෛතික කරුණු මෙම නඩුවේදී සම්පූර්ණ කර නොමැති බැවින් ඊට එරෙහිව මූලික විරෝධතාවක් මතු කිරීමට බලාපොරොත්තු වන බවයි. පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඊට පිළිතුරු දීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් අතර, කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරිය එම මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශ්වයට නියෝග කරමින් නඩුව දෙසැම්බර් මාසයේ යළි කැඳවීමට නියම කළාය.
මෙම නෛතික අර්බුදයට පදනම් වූ විත්තිකාරියගේ මව වන රාජගිරිය නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්රා මහත්මිය දින දෙකකට පෙර අදාළ පෞද්ගලික රෝහලේදී මියගොස් තිබිණි. කෙසේ වෙතත්, අවසන් කටයුතු කිරීම සඳහා මවගේ මෘත දේහය තමන් වෙත භාර නොදී පෞද්ගලික රෝහල විසින් රඳවාගෙන සිටින බව පවසමින් දියණියට මරදාන පොලිසියට පැමිණිල්ලක් කිරීමට ද සිදුවිය.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්රසන්න මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, මීට පෙර අවස්ථාවකදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අනුව, මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය දියණියට භාරදෙන ලෙස කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාට නියම කළ වැඩබලන මහෙස්ත්රාත්වරයා, බොරැල්ල පොදු සුසාන භූමියේ සලකුණක් තැබූ ස්ථානයක මෘත දේහය භූමදානය කිරීමට ද නියෝග කළේය.