naotunne-thero-who-abused-six-melbourne-girls-sentenced-to-9-years-in-prison

අධිකරණ ශාලාවේ නිහැඬියාව බිඳ වැටුණේ වින්දිත කාන්තාවකගේ කෝපාවිෂ්ට හඬිනි. ඇය "මේක විහිළුවක්" යැයි කෑගසද්දී, දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටි, එහෙත් දැන් කහ සිවුර වෙනුවට අළු පැහැති සිරකරු ඇඳුමෙන් සැරසී සිටි 71 හැවිරිදි නාඔටුන්නේ විජිත භික්ෂුව තමන්ට හිස නමා ආචාර කළ ආධාරකරුවන්ට සිනාසෙමින් අත වැනීය.

ඒ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේදී කුඩා දැරියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදට ඔහුට වසර 13ක් සහ මාස දෙකක සිරදඬුවමක් නියම වී ගත වූ කෙටි විරාමයේදීය.




ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු පහළොවේදී පැවිදි වී පසුව ස්වීඩනයේ පුරවැසිභාවය ලබාගත් විජිත භික්ෂුව, 1994 වසරේදී මෙල්බර්න් නුවර ගිනිකොණ දෙසින් පිහිටි එම විහාරයේ ප්‍රධාන අධිපති ධුරය භාරගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණියේය. 1994 සිට 2002 දක්වා කාලය තුළ ස්ප්‍රින්ග්වේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි එම විහාරස්ථානයට දහම් ඉගෙනීමට පැමිණි කුඩා දැරියන් භික්ෂුවගේ වාසස්ථානය තුළදී නැවත නැවතත් අපයෝජනයට ලක් වූ බව පසුගිය වසරේ පැවති නඩු විභාගයේදී තහවුරු විය. බොහෝ අවස්ථාවලදී මෙම අපරාධයන් සිදු වී ඇත්තේ දැරියන්ගේ දෙමාපියන් කිසිවක් නොදැන අසල කාමරවල රැඳී සිටියදීමය.

වැඩිවියට පත් වූ වින්දිත කාන්තාවන් පොලිසියට කළ පැමිණිලිවලට අනුව 2023 වසරේදී මේ හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කෙරිණි. ඒ අනුව ළමයෙකු සම්බන්ධ බරපතළ ලිංගික අපරාධ චෝදනා නවයකට සහ ළමයෙකු සම්බන්ධයෙන් අසභ්‍ය ක්‍රියා සිදු කිරීමේ චෝදනා අටකට ඔහු වැරදිකරු බවට අධිකරණය නිගමනය කළේය. දඬුවම නියම කරමින් විනිසුරු පර්දීප් තිවානා ප්‍රකාශ කළේ සමාජය ඉදිරියේ ගෞරවනීය චරිතයක් වූ මෙම භික්ෂුවට "අඳුරු සහ කැළඹිලිසහගත පැත්තක්" තිබූ බවයි.




බැතිමතුන් තුළ උන් වහන්සේ කෙරෙහි වූ අසීමිත ගෞරවය නිසාම, දෙමාපියන් කිසිදු සැකයකින් තොරව තම දරුවන් භික්ෂුව සමඟ තනිව තැබූ බවත්, හෙතෙම එම අතිමහත් විශ්වාසය අතිශය නින්දිත ලෙස පාවා දුන් බවත් විනිසුරුවරයා අවධාරණය කළේය. බුදු දහම ඉගෙනීමට පැමිණි දරුවන්ට පූජනීය ස්ථානයක් තුළදී ආරක්ෂාව වෙනුවට අත්විඳීමට සිදු වූයේ තම අහිංසකත්වය උදුරා ගැනීමක් බව අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ විය. නඩු විභාගයේදී සාක්ෂි දුන් සෑම වින්දිතයෙකුම සත්‍යවාදී, බුද්ධිමත් සහ පැහැදිලිව අදහස් ප්‍රකාශ කළ අය බව විනිසුරුවරයාගේ පැසසුමට ලක් විය.

මෙම අපරාධවලින් වින්දිතයින්ට සිදු වූ බලපෑම දශක ගණනාවක් පුරා ඔවුන්ව බියෙන් සහ ලැජ්ජාවෙන් පීඩාවට පත් කර තිබිණි. "ජීවත් වෙන්න නම්, කිසිවක් නොදැනී සිටීමට මට මා හුරු කරගන්න සිදු වුණා" යැයි එක් වින්දිත කාන්තාවක් සිය බලපෑම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ එම වේදනාවේ ගැඹුර කියාපාමිනි. අදටත් කහ සිවුරක් දැකීම හෝ භික්ෂූන්ගේ පිරිත් හඬක් ඇසීම පවා තමාට දැඩි මානසික පීඩාවක් ගෙන දෙන බව පවසන ඇය, සත්‍යය හෙළි කිරීම නිසා තමාට සහ තම පවුලට "බොරුකාරයින්", "අවධානය සොයන්නන්" හෝ "පන්සල විනාශ කරන්නන්" වැනි ලේබල සමාජයෙන් අලවනු ඇතැයි තවමත් බියෙන් පසුවන බවද අධිකරණයේදී අනාවරණය විය.



කෙසේ වෙතත්, නඩු විභාගය පුරාවටම විජිත භික්ෂුව තම නිදොස් බව ප්‍රකාශ කළේය. එවැනි අපයෝජන සිදුවීම් කිසිවක් සිදු නොවූ බවත්, ඇතැම් පැමිණිලිකාරියන් කවුරුන්දැයි හිමියන්ට මතකයක් පවා නොමැති බවත් විත්තියේ නීතිඥයෝ තර්ක කළහ. භික්ෂුව ඩිමෙන්ෂියාව (මතක ශක්තිය හීන වීම) ඇතුළු රෝග ගණනාවකින් පීඩා විඳින බවත්, හෙතෙමගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල මට්ටමක පවතින බවත් ඔවුහු මීට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

විනිසුරුවරයාගේ තීන්දුවෙන් පසු අධිකරණ ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විත්තිකූඩුවේ සිටි භික්ෂුවට සිය ආධාරකරුවන් සමඟ සිනාසෙමින් කතාබහ කිරීම නවතා දැමීමට සිදු විය. පැරෝල් හෙවත් කොන්දේසි සහිත නිදහස සඳහා සුදුසුකම් ලැබීමට පෙර ඔහුට අවම වශයෙන් වසර නවයක් සහ මාස හතරක් සිර මැදිරියක ගත කිරීමට සිදුවනු ඇත. සිරදඬුවම අවසන් වූ පසු මෙම භික්ෂුව ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ හැකියාවක් පවතින අතර, හිමියන් යළි ස්වීඩනයට යාමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී. දශක තුනකට පෙර මහත් හරසරින් මෙල්බර්න් නුවරට පැමිණි ඒ භික්ෂුවට, දැන් සිය ජීවිතයේ ඉදිරි කාලය ගෙවා දැමීමට සිදුව ඇත්තේ සිරකරුවෙකු ලෙසය.

මූලාශ්‍රය: ABC News (ඕස්ට්‍රේලියාව)

naotunne-thero-who-abused-six-melbourne-girls-sentenced-to-9-years-in-prison

naotunne-thero-who-abused-six-melbourne-girls-sentenced-to-9-years-in-prison