a-mysteriously-dead-mountain-tiger-is-found-in-a-well

නාවලපිටිය, වෙරළුගස්හින්න ප්‍රදේශයේ තේ සහ කෝපි වගාවන්ගෙන් වටවුණු පරිසරය ඊයේ (27) දින කැළඹී ගියේ ළිඳක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගැනීමත් සමගිනි. කලක් තිස්සේ ගම්වාසීන්ගේ ප්‍රයෝජනයට නොගත් මෙම ළිඳ අසල කෝපි වත්තක සේවයට ගිය කම්කරුවෙකුට මෙම අවාසනාවන්ත දසුන මුලින්ම දැකගන්නට ලැබී ඇත.

අනතුරුව ඔහුගේ දැනුම්දීම මත නාවලපිටිය පොලීසිය හරහා ගම්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කරන ලදී.




මෙම කඳුකර කොටියාගේ මරණය හුදු අනතුරක්ද, නැතහොත් මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව මේ වනවිට දැඩි සැකයක් මතුව තිබේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ළිඳේ වත්මන් ස්වභාවයයි. මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටු තත්ත්වයත් සමග විශාල වශයෙන් පස් සෝදාගෙන විත් මෙම ළිඳ තුළ තැන්පත් වී තිබී ඇත. ඒ අනුව, යම් හෙයකින් ගොදුරක් පසුපස හඹා යෑමේදී කොටියා ළිඳට වැටුණේ වුවද, ළිඳ තුළ පිරී ඇති පස් තට්ටුව හේතුවෙන් ඌට පහසුවෙන්ම ගොඩ ඒමට අවස්ථාව තිබූ බව ප්‍රදේශවාසීහු මෙන්ම වනජීවී නිලධාරීහු ද පෙන්වා දෙති.

ගොඩ ඒමට හැකියාව තිබියදීත් කොටියා ළිඳ තුළම මියගියේ කෙසේද යන්න ගැටලුවකි. මේ හේතුවෙන්, කිසියම් මන්දකට හසුවී මියගිය පසු සාක්ෂි වසන් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් සිරුර ගෙනවිත් ළිඳට දමන්නට ඇත්දැයි වනජීවී නිලධාරීන්ට බරපතළ සැකයක් මතු වී තිබේ.




මෙම අබිරහස් මරණයේ සැබෑ හේතුව අනාවරණය කරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිටත් ආරම්භ කර ඇත. කොටියාගේ සිරුර නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.

a-mysteriously-dead-mountain-tiger-is-found-in-a-well

a-mysteriously-dead-mountain-tiger-is-found-in-a-well