පුද්ගලයින් 38 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ආහාරයට ගත් බවට චෝදනා ලබන, උගන්ඩා ඉතිහාසයේ දරුණුතම දාම ඝාතකයා මෙන්ම මිනීමස් කන්නා ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූසා මුජුරිසි නම් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව උගන්ඩාවේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් මුහුසි කයිනෙරුගාබා විසින් ඊයේ (27) නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී.
සමාජ මාධ්ය වේදිකාවක් වන 'X' හි සටහනක් තබමින් ජෙනරාල් කයිනෙරුගාබා සඳහන් කළේ, 2010 සිට 2025 දක්වා කාලය තුළ මසාකා, ඉබන්ඩා සහ කාසෝ යන දිස්ත්රික්කවලදී මෙම ඝාතන මාලාව සිදුකර ඇති බවයි. සැකකරුට එරෙහිව ප්රසිද්ධියේ නඩු පවරා ඔහුට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලබාදෙන බවටද හෙතෙම අවධාරණය කළේය. මාංචු දමා සිටින සැකකරුගේ ඡායාරූපයක්ද පළ කරමින්, "මේ සිටින්නේ දාම ඝාතකයෙකුගේ මුහුණුවරයි. උගන්ඩාවේ සිටින අනෙකුත් ඝාතකයින්ට මා දෙන අවවාදය නම් වහාම නිවැරදි වන ලෙසයි. අපි ඔබ සොයා එමින් සිටින්නෙමු," යනුවෙන් හමුදා ප්රධානියා අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබේ.
මෙම සැකකරුගේ අඳුරු අතීතය වසර ගණනාවක් පුරා දිවෙන්නකි. 2012 සහ 2013 වසරවලදී උගන්ඩාවේ මසාකා සහ රකායි ප්රදේශවල සිදුවූ අභිරහස් ඝාතන රැසක්ම මේ හා සම්බන්ධ බවට පොලිසිය සැක කරයි. නිවාසවල බිත්ති විද ඇතුළු වී තියුණු ආයුධවලින් පහරදී මනුෂ්ය ඝාතන සිදුකිරීම එම ප්රහාරවල ස්වභාවය විය. 2013 ජනවාරි මාසයේදී දේවගැති ස්ටීවන් මුගම්බේගේ පවුලට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය වීමද මීට ඇතුළත්ය. මෙම අපරාධවල ඇති සමානකම් හේතුවෙන් පොලිසියේ අවධානය සංවිධානාත්මක කල්ලියක් වෙත යොමු විය.
'ඩේලි මොනිටර්' පුවත්පත වාර්තා කරන පරිදි, පොලිසියේ ක්ෂණික ප්රතිචාර ඒකකය විසින් ප්රදේශවාසීන්ගෙන් සහ දේවගැතිවරයා ඇතුළු පිරිසගෙන් ලබාගත් තොරතුරු මත මුජුරිසි වෙත ළඟාවීමට පොලිසියට හැකි විය. එම වාර්තාවලට අනුව, 2009 වසරේදී කම්පාලා නුවරට නුදුරු එන්ටෙබේ මාර්ගයේ කාවුකු ප්රදේශයේ ආගමික ස්ථානයකදී ඔහුව ප්රථම වරට අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු ඝාතන 17ක් සිදුකළ බවට පාපොච්චාරණය කර තිබේ. එහෙත් මෙය මාධ්ය සහ පොලිස් වාර්තාවල සඳහන් කරුණක් පමණක් වන අතර, අධිකරණය හමුවේ තවමත් ඔප්පු වී නොමැත.
කාලයත් සමඟ මුජුරිසි පොලිසියට දැඩි අභියෝගයක් බවට පත් වූයේ ඔහු කිහිප වතාවක්ම අත්අඩංගුවට පත්වුවද, විවිධ තත්ත්වයන් යටතේ රඳවාගැනීම්වලින් පලායාම හෝ නිදහස් වීම හේතුවෙනි. ඔහුට පලායාම සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහය ලැබුණු බවටද සැකයක් පවතී. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මාලාවේ හැරවුම් ලක්ෂ්යය සටහන් වූයේ 2026 ඔක්තෝබර් 16 වැනිදා කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාව මත ෆ්රෙඩ් මුජුලිසි හෙවත් කුලෑෂ් කමුගිෂා නමින් මොහුව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟය. ඉන්පසුව පොලිසිය විසින් 2012 වසරේ සිදුවූ පැරණි ඝාතන ලිපිගොනු නැවත විවෘත කළ අතර, මහජනතාවගෙන් පැමිණිලි කැඳවීමද ආරම්භ කෙරිණි. ජෙනරාල් කයිනෙරුගාබා විසින් ඔක්තෝබර් 26 වැනිදා මූසා මුජුරිසිගේ අත්අඩංගුවට ගැනීම ප්රකාශයට පත් කළේ ඉන් අනතුරුවය.
පුද්ගලයින් 38 දෙනෙකුගේ මස් අනුභව කළ බවට හමුදා ප්රධානියා විසින් එල්ල කර ඇති බිහිසුණු චෝදනාව තවමත් පවතින්නේ විමර්ශන මට්ටමේය. එම ප්රකාශය තහවුරු කිරීමට තරම් ප්රමාණවත් අධිකරණ වෛද්ය වාර්තා මෙතෙක් ප්රසිද්ධියට පත්වී නොමැත. මෙවැනි සිදුවීම්වලදී අපරාධ ස්ථානවලින් හමුවන කොටස්, ඩීඑන්ඒ පරීක්ෂණ, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ඇසින් දුටු සාක්ෂි මත විමර්ශන ආයතන දැඩි ලෙස රඳා පවතී.
මේ අතරතුර, ඉබන්ඩා සහ කාසෝ යන දිස්ත්රික්කවල සිදුවූ ඝාතන සහ කොල්ලකෑම්වලින් අනතුරුව එම ප්රදේශවල ආරක්ෂක මෙහෙයුම් වඩාත් දැඩි කර තිබේ. ඒ අනුව 2026 ඔක්තෝබර් 19 වැනිදා එම ප්රදේශවල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළේය. මාරාන්තික ප්රහාර දෙකකට සම්බන්ධ බවට සැකකෙරෙන 28 හැවිරිදි අයුබ් බොගේරේ ද ඒ අතර විය. ඔහුගේ සබඳතාවක් 2026 ඔක්තෝබර් 12 වැනිදා අත්අඩංගුවට ගත් හික්සන් ටුසීමි හෙවත් කබුටෝ නමැත්තා සමඟ ද පවතින බව විමර්ශනවලදී හෙළි වී තිබේ.