hiv-will-be-out-of-control-after-2023

පසුගිය 2021 වසරෙන් පසුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. (HIV) සහ ලිංගාශ්‍රිත රෝග පාලනය ගිලිහී ගොස් ඇති බවත්, විශේෂයෙන්ම 2023 වසරේ සිට ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

වත්මන් තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරමින්, එක් ආසාදිත කාන්තාවක් වාර්තා වන විට ආසාදිත පිරිමින් හත්දෙනෙකු වාර්තා වන තත්ත්වයක් මේ වන විට රට තුළ නිර්මාණය වී තිබේ.




මෙම කනගාටුදායක තත්ත්වය පිළිබඳව කරුණු හෙළිදරව් කෙරුණේ, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා එම්අයිවී වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLcOSHH) සභාපතිනි, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය විසිනි. ඊයේ (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා මෙම රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

රෝග ව්‍යාප්තියේ වේගය මනාවට පැහැදිලි කරන තවත් සාධකයක් වන්නේ උපදංශ රෝගීන්ගේ සංඛ්‍යාවයි. 2021 වසරට පෙර ශ්‍රී ලංකාවෙන් වසරකට වාර්තා වූයේ උපදංශ රෝගීන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් වුවද, වර්තමානය වන විට එම අගය 1,500 දක්වා අතිශය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මීට සමගාමීව හෙපටයිටිස් බී සහ සී රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරිය එහිදී සඳහන් කළාය.




මෙලෙස ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිටුපස සමාජීය සහ ආර්ථික කාරණා කිහිපයක්ම බලපා තිබේ. කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාලයට ඇති ප්‍රවේශය ඉහළ යාම, රටේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය, මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම සහ මුදල් මත පදනම්ව අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මේ වන විටත් පියවර ගෙන තිබේ. එච්.අයි.වී. වැළැක්වීම සහ පාලනය කිරීම වෙනුවෙන් අතුරු ආබාධ අවම නවීන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව ඇය එහිදී අවධාරණය කළාය.



ලිංගික සෞඛ්‍ය හා එච්.අයි.වී. ක්ෂේත්‍රයේ ප්‍රගමනය, අනාගතයට මංපෙත් විවර කරමින් නවෝත්පාදන බිහිකිරීම සහ වත්මන් ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ප්‍රවණතා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස සහ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.