trying-to-change-the-golden-flag-will-not-work

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් අංශ වෙත ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබේ. කොමිෂන් සභාව ඊයේ (01) රැස්වී මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතිය ලබා නොදීමට තීරණය කර ඇත.




මීට සති දෙකකට පමණ පෙර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් සඳහා අවශ්‍ය නිර්දේශ ඉල්ලා අදාළ ලිඛිත ඉල්ලීම කොමිසම වෙත යොමු කර තිබිණි. එම ස්ථාන මාරු ලැයිස්තුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව එම කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත්, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකගේ නම් ඇතුළත් කර තිබූ බව කොමිෂන් සභා ආරංචි මාර්ග තහවුරු කරයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා වූ ඕනෑම උසස් නිලධාරියෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමේදී ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය නෛතික අවශ්‍යතාවයකි.




මෙම නිලධාරීන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කොළඹ වරාය තුළ බහාලුම් දෙකක සඟවා තිබූ කිලෝග්‍රෑම් 361ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට ඍජුවම සම්බන්ධ වී පවතී. අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඒ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම විමර්ශන ක්‍රියාවලියට අදාළව පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව රහස් පොලිසිය විසින් ඉකුත් 29 වැනිදා රන්මල් කොඩිතුවක්කු මහතාව කැඳවා තිබිණි. එහිදී පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර දීර්ඝ ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.