bandula-to-appear-before-the-bribery-commission-today-2---wimal-under-ccd

හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (02) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව අද පෙරවරු 9.30 ට පමණ තමන් අදාළ කොමිසම හමුවට යන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අරමුදලකට අයත් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කර සියයට 59.5 ක ප්‍රතිලාභයක් ලබාගැනීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය. මීට අදාළව 2007 වසරේදී ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මුල්කරගනිමින් විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස ඔහුගෙන් කරුණු විමසීමට නියමිතව පවතී.



මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට ද අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබේ. ඒ, අධිකරණයට අපහාස වන අන්දමේ අදහස් දැක්වීමක් සිදුකළේ යැයි කියන චෝදනාවක් මත ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම වෙනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී වීරවංශ මහතා විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඉන් අනතුරුව අධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කරන ලද නියෝගයකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.