
කළුතර - මතුගම ප්රධාන මාර්ගයේ ගල්ලස්ස හන්දියේ පිහිටි ‘ඩ්රැගන්’ හෝටලය අසල ඉකුත් 09 වැනිදා උදෑසන ඇසුණු වෙඩි හඬින් අවසන් වූයේ එක් ජීවිතයක් පමණක් නොවේ. එදින එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළූ හෝටල් හිමිකරුගේ වියෝවෙන් පසු, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි ඔහුගේ බිරිඳ ද ඊයේ (11) අලුයම මෙලොව හැර ගියාය.
දොඩන්ගොඩ, පොල්වත්ත ගොඩ පදිංචිව සිටි 54 හැවිරිදි තුෂාර සම්පත් එදිරිසිංහ සහ ඔහුගේ බිරිඳ වූ 50 හැවිරිදි ශිරෝමි ප්රියදර්ශනීගේ ඛේදවාචකය පිටුපස ඇත්තේ ප්රතික්ෂේප කිරීමක් සහ ඩුබායි සිට මෙහෙයවූ බව කියන පාතාල ක්රියාන්විතයකි.ඔක්තෝබර් 09 වැනිදා උදෑසන 7.30 ට පමණ මෙම අඹුසැමි යුවළ හෝටලයට පැමිණෙමින් සිටියහ. මීට පෙර එල්ල වූ ඇසිඩ් ප්රහාරයක් හේතුවෙන් තුෂාර සම්පත් අක්ෂි ආබාධයකින් පෙළෙමින් සිටි බැවින්, රථයේ සුක්කානම මෙහෙයවන ලද්දේ ඔහුගේ බිරිඳ විසිනි. ඔවුන් හෝටලයට ළඟා වනවාත් සමඟම යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් ඔවුන් වෙත වෙඩි වරුසාවක් එල්ල කළහ. පොලිසිය පවසන ආකාරයට, තුවක්කුකරුවන් ගිනි අවියේ මැගසිනය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම වෙඩි තබා ඇත.
මෙම සාහසික ද්විත්ව ඝාතනයෙන් පසු, මෙම ඝාතන තමා විසින් සිදු කරන ලද්දක් බව පවසමින් ඩුබායි රාජ්යයේ සැඟව සිටින බවට විශ්වාස කෙරෙන 'දනුක' නමැති සංවිධානාත්මක අපරාධකරු පුද්ගලයින් කිහිපදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව පොලිසිය අනාවරණය කරයි. මෙම ඝාතනයට තුඩු දුන් හේතුව ලෙස පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඉකුත් ජූලි 23 වැනිදා සිදුවූ සිදුවීමකි. එදින යතුරුපැදියකින් ‘ඩ්රැගන්’ හෝටලයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හෝටල් හිමිකරුට දුරකථනයක් ලබා දී, "දනුක කතා කරනවා" යැයි පවසා ඇත. එහිදී මුදලට බූරුවා ගැසීම සඳහා හෝටලයේ කාමරයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම හෝටල් හිමිකරු විසින් ප්රතික්ෂේප කර තිබේ.
මේ වන විට මෙම ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකුම නීතියේ රැහැනට කොටුවී ඇත. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අයිස් මත්ද්රව්ය ද සමඟ මඩකළපුව, වාලච්චේන ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දකුණු කළුතර පොලිසියට භාර දෙනු ලැබීය. ඊට අමතරව, ඝාතනයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු වන්නේ ඩුබායිහි සිටින දනුකගේ බිරිඳගේ නැගණියගේ සැමියා වන, ඇල්කේකන්ද බෝම්බුවල පදිංචි 39 හැවිරිදි සූපවේදියෙකි. අනෙක් සැකකරු බීම පැකට් නිෂ්පාදනය කර අලෙවි කරන 19 හැවිරිදි තරුණයෙකි.
පොලිසිය භාරයට ගත් මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙරද වැරදි රැසකට සම්බන්ධ වූවන් බව හෙළි වී ඇත. අයිස් සහ ගංජා මත්ද්රව්ය ළඟ තබා ගැනීම, මුදලට සුදු සෙල්ලම් කිරීම, ලියකියවිලි නොමැති ත්රිරෝද රථයක් ළඟ තබා ගැනීම, තියුණු ආයුධයකින් පහර දී දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා මත දකුණු කළුතර සහ දොඩන්ගොඩ පොලිස් ස්ථාන මගින් මීට පෙර අවස්ථා කිහිපයකදීම මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් ඊයේ (11) කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව, ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබුණි.
