මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස ප්රකට ශිරාන් බාසික් සහ ඔහුගේ පියා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි හතක පමණ වටිනාකමකින් යුත් දේපළ සිය සන්තකයේ තබාගෙන මේ වන විට විදෙස්ගතව සිටින උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් ඉංග්රීසි භාෂාවෙන් යුත් රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ළහිරු සිල්වා මහතා ඊයේ (22) මෙම නියෝගය ලබා දුන්නේය. මෙලෙස රතු වරෙන්තු නිකුත් කෙරුණේ සම්පත් අත්තනගේ නැමැති උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව වන අතර, සැකකරු මේ වන විටත් රටින් පලාගොස් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් අනාවරණය කළේ බොරැල්ල ප්රදේශයේ පිහිටි වටිනා ගොඩනැගිලි සංකීර්ණයක්, දඹුල්ල ප්රදේශයේ ඉඩම් තුනක් සහ දඹුල්ලේම පිහිටි ප්රසිද්ධ හෝටලයක් ඇතුළු රුපියල් කෝටි හතක් පමණ වටිනා දේපළ මෙම ගුරුවරයාගේ නමට ලියාපදිංචි කර ඇති බවයි. මීට අමතරව, සමාගමක අධ්යක්ෂ ධුරයක් හොබවන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් විසින් සිය නමින් රුපියල් කෝටි තුනක් පමණ වටිනා ගම්පහ ප්රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් ද මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මත්ද්රව්ය ජාවාරමෙන් උපයා ගත්තේ යැයි කියන මුදල් සැකකරුවන්ගේ බැංකු ගිණුම් වෙත ප්රේෂණය කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට තවදුරටත් විමර්ශන ක්රියාත්මක ය. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බැවින්ද, විමර්ශනවලට බාධා කළ නොහැකි වයෝවෘද්ධ අයෙකු බැවින්ද ඔහුට ඇප ලබාදෙන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුට දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේය.
ඒ අනුව, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්රාත්වරයා, රුපියල් ලක්ෂ පනහක ඇපයක් අධිකරණයේ තැන්පත් කළ හැකි බවට දිවුරුම් ප්රකාශයක් මෙන්ම පදිංචිය සනාථ කිරීම සඳහා ග්රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර, මෙම සියලු කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ඔහු මුදාහැරීමට නියෝග කෙරිණි. සිද්ධියට අදාළ විමර්ශන ප්රගතිය දෙසැම්බර් 03 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට වැඩිදුරටත් නියෝග කර තිබේ.