25-sri-lankan-fishing-boats-temporarily-allowed-to-enter-indian-waters-to-escape-arnab

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති 'අර්නබ්' සුළු කුණාටු තත්ත්වය හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බලපෑමකට ලක්ව සිටි මෙරට බහුදින ධීවර යාත්‍රා 25කට ආසන්න සංඛ්‍යාවකට ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ආරක්ෂාව සලසා ගැනීමට මේ වනවිට අවසර හිමිව තිබේ.




ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඉන්දීය රජයෙන් සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අදාළ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ රැඳී සිටින බව බලධාරීන් විසින් හඳුනාගැනීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම සිදු කර ඇත.

පවතින අවදානම් සහගත තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති කාලගුණ උපදෙස් මත, බලපෑමට ලක්වූ මුහුදු ප්‍රදේශවලින් වහාම ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එම බහුදින ධීවර යාත්‍රාවලට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බව මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.