ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපය තුළ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි. මානසික රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයින් අතුරින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.
මෙවැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින බහුතරයක් දෙනා වෘත්තීය මට්ටමේ වෛද්‍ය සහාය ලබා ගැනීමට වඩා එය මගහැර සිටීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව ද පෙනෙන්නට ඇත.මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජය බණ්ඩාර මහත්මිය විසිනි. එළඹෙන ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව පෙන්වා දුන්නාය.
රෝගීන් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් වැළකී සිටීමට ප්‍රබලතම හේතුවක් වී ඇත්තේ සමාජය තුළ මුල්බැසගෙන ඇති ආකල්පයි. පර්යේෂණ දත්තවලට අනුව, මානසික රෝග සම්බන්ධයෙන් සමාජයේ පවතින දුර්මත සහ ඒ හා බැඳුණු අපකීර්තිය මෙලෙස ප්‍රතිකාර මගහැරීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබේ. මේ හේතුවෙන් සමාජය දැනුවත් කිරීම, අපකීර්තිය අවම කිරීම සහ සුදුසු ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු කිරීම හරහා නිසි වෛද්‍ය සහාය ලබාගැනීමට ජනතාව දිරිමත් කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍යවරිය මෙහිදී තවදුරටත් අවධාරණය කළාය.
මෙවැනි පසුබිමක් තුළ, මානසික පීඩාවන්ට ලක්වූවන් සඳහා උපකාර කිරීමට පැය 24 පුරාම ක්‍රියාත්මක ජාතික උපකාරක සේවාවක් ද ස්ථාපිත කර තිබේ. 2018 වසරේ ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ආරම්භ කරන ලද '1926' ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව මේ වන විටත් සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. මහජනතාවට මානසික සෞඛ්‍ය උපදෙස් ලබා දෙන මෙම සේවාව ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ දුරකථන සංවාද ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයා ඇති බව ද ඇය සඳහන් කළාය.
මානසික සෞඛ්‍ය සේවාවන් සහ ඒ පිළිබඳව මහජන අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා මානසික රෝගීන්ගේ සැබෑ අත්දැකීම්වලට සවන්දීමේ සහ ඔවුන්ගේ හඬට නිසි අවධානයක් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී දැඩිව ප්‍රකාශ විය. එය වඩාත් අර්ථවත් කරමින්, එළඹෙන ඔක්තෝබර් 10 වැනිදාට යෙදී ඇති මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ ද "සැබෑ අත්දැකීම්වලට සවන්දීම: සැබෑ හඬවල්, සැබෑ වෙනසක්" යන්නයි.

