anojan-who-was-released-from-death-penalty-discusses-next-steps

සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අහෝසි වීමෙන් පසු, ඔහුගේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඊයේ (27 වැනිදා) ඔහු හමුවීමට ගියේය.

රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම හමුව මූලික වශයෙන්ම යොමු වී තිබුණේ මරණ දඬුවම අහෝසි වීමෙන් පසු ඉදිරියේදී පැවැත්වීමට නියමිත නව අධිකරණ ක්‍රියාපරිපාටිය පිළිබඳව ඔහුව දැනුවත් කිරීම සඳහාය.




අනෝජන්ගේ ඉරණම තීරණය වූයේ සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් මුල් කරගනිමිනි. ඉස්ලාම් දහමට සහ මොහොමඩ් නබි නායකතුමාට අපහාස වන අයුරින් අදාළ සටහන තැබූ බවට චෝදනා කරමින් සෞදි බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත් අතර, මුලින් ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දැවැන්ත දඩ මුදලක් නියම විය. එහෙත් පසුව එරට අභියාචනාධිකරණය විසින් එම දඬුවම මරණ දඬුවම දක්වා දැඩි කරනු ලැබීය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය, විදේශ අමාත්‍යාංශය, විවිධ ආගමික නායකයින් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එක්ව සිදුකළ අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම නෛතික මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස 2026 ඔක්තෝබර් 13 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ මරණ දඬුවම අහෝසි කර, නඩුව නැවත විභාග කිරීම සඳහා යොමු කිරීමට තීන්දු කළේය.




මෙම නව නඩු විභාගය හමුවේ, පවතින නීතිමය ක්‍රියාවලිය තුළ සියලු කරුණු නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම තානාපතිවරයා විසින් අනෝජන්ට පෙන්වා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය හා තානාපති සහාය මෙන්ම කොන්සියුලර් සේවා අඛණ්ඩව ලබා දීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැපවී සිටින බව අමීර් අජ්වාඩ් මහතා එහිදී අවධාරණය කළේය. එසේම, ඉදිරි නඩු කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනෝජන්, ඔහුගේ නීතිඥවරුන් සහ තානාපති කාර්යාලය අතර ඉතා සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය තුළ සෞදි අරාබියේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ එරට නීතියේ ක්‍රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබාදෙන බව තානාපතිවරයා වැඩිදුරටත් තහවුරු කර තිබේ. තම සංචාරය අතරතුර දම්මාම් බන්ධනාගාර බලධාරීන් ද මුණගැසුණු තානාපතිවරයා, අනෝජන් සිවරාසාගේ සුබසාධනය සම්බන්ධයෙන් ඔවුන් දක්වන අඛණ්ඩ සැලකිල්ල සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබාදෙන සහයෝගය අගය කරමින් සිය කෘතඥතාව පළ කිරීමට ද කටයුතු කළේය.