police-crackdown-on-french-protests-begins-1000-arrested

ප්‍රංශය පුරා උද්ධමනය, ඉහළ යන ජීවන වියදම සහ පාසල්වල පවතින දුර්වල තත්ත්වයට එරෙහිව වීදි බැසි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දැඩි ගැටුම් හටගෙන තිබේ. ඉරිදා දිනය පුරා පැවති මෙම විරෝධතාවලදී පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රංශ රජය විසින් පොලිස් නිලධාරීන් 70,000ක් සේවයේ යොදවා ඇත.




අගනුවර වන පැරිස් නුවර මෙන්ම තවත් ප්‍රධාන නගර කිහිපයකම විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක යොදාගැනීමට පොලිසිය කටයුතු කළේය. පැරිසියේ පෝට් ඩි ඉටාලි (Porte d'Italie) සිට පෝට් ඩි වින්සෙනෙස් (Porte de Vincennes) දක්වා මුලින් සාමකාමීව ගමන් ගත් විරෝධතා පාගමන අවසානයේදී දැඩි පොලිස් ගැටුමකින් කෙළවර විය. සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය මැඩලීම සඳහා යොදාගන්නා විශේෂ පොලිස් ඒකකයක්ද මෙම මෙහෙයුමට එක්ව සිටීම විශේෂත්වයකි. එහිදී මුහුණු ආවරණය කරගත් තරුණ පිරිසක් මෝටර් රථ අලෙවිසැලක ජනේල කඩා දැමීමත් සමඟ පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තේය. විරෝධතාකරුවන්ද තාවකාලික මාර්ග බාධක ඉදිකරමින් පොලිසිය දෙසට විවිධ ද්‍රව්‍ය ප්‍රහාර එල්ල කළහ.

ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාසේ (Marseille) සහ දකුණුදිග බෝඩෝ (Bordeaux) නගරවලින්ද දැඩි නොසන්සුන්තා වාර්තා විය. මාසේ නුවරදී කසළ බඳුන්වලට ගිනි තැබූ විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම සඳහා ලෝහ තහඩු භාවිත කළ අතර, ගිනිගන්නා මාර්ග බාධකයක් මැදින් පොලිස් රථයක් ධාවනය වන අයුරුද දක්නට ලැබිණි. බෝඩෝ නගරයේදී ඇතැම් විරෝධතාකරුවන් වෙළෙඳසැලකින් සහ ගොඩනැගිලිවලින් ගැලවූ ලී පුවරු යොදාගනිමින් මාර්ග හරස් කළහ.




තුන්වන විශාලතම නගරය වන ලියොන් (Lyon) හි බලධාරීන් විසින් රැස්වීම් තහනම් කර තිබූ කලාපයකට ඇතුළු වූ පිරිසක් විසුරුවා හැරීම සඳහා ද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. "අපි 150ක විතර පිරිසක් හිටියේ. වැඩිපුරම හිටියේ ද්විතීයික පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. එකපාරටම කඳුළු ගෑස් ගැහුවා. පාරේ කිසිම දෙයක් බලාගන්න බැරි තරමට ඇස් පෙනෙන්නේ නැතුව ගියා," යනුවෙන් ලියොන් නගරයේ විරෝධතාවයට එක්වූවෙක් පැවසීය.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් (Laurent Nuñez) පවසන පරිදි, විරෝධතාවයට එක්වූ දහස් ගණනක් වූ රැඩිකල් ක්‍රියාකාරීන් අතරින් 500කට ආසන්න පිරිසක් කලහකාරීන් ලෙස හඳුනාගෙන ඇත. ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද හෙතෙම සඳහන් කළේය. ගැටුම් හේතුවෙන් නිරිතදිග ටූලූස් (Toulouse) නගරයේ සහ මධ්‍යම ප්‍රංශයේ ක්ලෙරමොන්ට්-ෆෙරන්ඩ් (Clermont-Ferrand) නගරයේ පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. කෙසේ වෙතත්, පෙර සතියේ දක්නට ලැබුණු ආකාරයේ මහා පරිමාණ දේපළ කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට මෙවර බලධාරීන් සමත් වී ඇත.



මෙම දැවැන්ත විරෝධතා රැල්ලේ සහභාගීත්වය සම්බන්ධයෙන් රජය සහ වෘත්තීය සමිති අතර පවතින්නේ දැඩි පරස්පරතාවකි. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව ලක්ෂ 4.10ක පිරිසක් රට පුරා විරෝධතාවලට එක්ව ඇති අතර, වෘත්තීය සමිති පවසන්නේ එම සංඛ්‍යාව ලක්ෂ 8ක් පමණ වන බවයි.