lakmali-who-played-the-role-of-the-girlfriend-sent-an-sms-to-the-plotter-to-kill-kajja

අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ කෲර අපරාධයේ ප්‍රධානතම සැකකාරියක වූ අනුෂා ලක්මාලි නොහොත් 'අචිනි' නමැත්තිය ඩුබායි රාජ්‍යයේ සිට අද (27) අලුයම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙරටට රැගෙන විත් තිබේ. ඒ, ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන මත ඩුබායි ආරක්ෂක අංශ විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුවය.




2025 වසරේ පෙබරවාරි 18 වන දා රාත්‍රිය මෙම ත්‍රිත්ව ඝාතනයෙන් ලේ වැකිණි. ‘මීගස්ආරේ කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අරුණ විදානගමගේ ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහු පමණක් නොව, ඒ මොහොතේ ඔහු සමඟ සිටි ඔහුගේ 6 හැවිරිදි කුඩා දියණිය සහ 9 හැවිරිදි පුත්‍රයා ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූහ.

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අනුෂා ලක්මාලි නමැති මෙම කාන්තාව ඝාතනයට ලක්වූ ‘කජ්ජා’ සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලීසිය අනාවරණය කරගෙන ඇති ආකාරයට, විදේශගතව සිටින ‘බැකෝ සමන්’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් පරිදි මෙම අපරාධය සඳහා මූලික පසුබිම සකස් වී ඇත. ඒ අනුව, ආහාර ගැනීම සඳහා අදාළ අවන්හල වෙත ‘කජ්ජා’ සහ දරු දෙදෙනා උපායශීලීව කැඳවාගෙන ගොස් ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි. වෙඩි ප්‍රහාරය එල්ල වී ඝාතනය සිදුවීමට මොහොතකට පෙර ‘කජ්ජා’ වෙත අවසන් දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය යොමු කර ඇත්තේ ද ඇය බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.




මෙම සිදුවීමෙන් පසු සැකකාරිය විදේශගතව සැඟව සිටි අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගත්තේය. ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ඇය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත පිටත්ව ගොස් තිබුණි. ඒ අනුව අද අලුයම 05.20ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-226 දරණ ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවාය.

ගුවන් තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරී කණ්ඩායම විසින් එහිදී සැකකාරියගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඉන් අනතුරුව, ත්‍රිත්ව ඝාතනයට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ගොස් තිබේ.

lakmali-who-played-the-role-of-the-girlfriend-sent-an-sms-to-the-plotter-to-kill-kajja

lakmali-who-played-the-role-of-the-girlfriend-sent-an-sms-to-the-plotter-to-kill-kajja