filmmaker-somapala-leelananda-passes-away

සිංහල සිනමා ගීතයේ ලීලය ලෙසින් විරුදාවලි ලත් ප්‍රවීණ කලාකරු සෝමපාල ලීලානන්ද මහතා සිය ජීවන ගමනට සමු දී තිබේ. ගීත රචකයකු, තිරනාටක හා දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු, ප්‍රචාරක කළමනාකාරවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ද ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණය කළ හෙතෙම ඊයේ (14) අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියේ පසු විය.




පාසල් අධ්‍යාපනයෙන් පසු "දවස" පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, පසුව ගුවන් විදුලි පිටපත් රචනයටත්, ඉන්පසු රිදී තිරයටත් පිවිසෙමින් සිය නිර්මාණාත්මක පරාසය පුළුල් කළේය. මෙරට පුවත්පත් ක්ෂේත්‍රය තුළ ‘මංගල යෝජනා’ සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ලීලානන්ද මහතා වීම විශේෂත්වයකි.

ඔහුගේ කුලුඳුල් සිනමා ගීත රචනය සනිටුහන් වන්නේ "විශ්මය" චිත්‍රපටයෙනි. ඒ වෙනුවෙන් ඔහු පබැඳූ "හදට හදට සුවඳ නැතේ" ගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී යන දැවැන්තයන්ගේ හඬින් ගැයීම ඔහුගේ ප්‍රතිභාවට කදිම සාක්ෂියක් විය. එසේම ඔහුගේ ගී පද රචනයෙන් හැඩ වී තිරගත වූ ප්‍රථම චිත්‍රපටය ලෙස "සදහටම ඔබ මගේ" ඉතිහාසයට එක්ව තිබේ. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ චිත්‍රපට 16 කම තිර රචනය සහ ගී පද රචනය සිදු කරමින් ලීලානන්ද මහතා දැක්වූ දායකත්වය ද සිනමා වංශකතාවේ කැපී පෙනෙන සලකුණකි.




ඔහුගේ පන්හිඳෙන් උපන් "පෙම් රස වෑහෙන", "සිටු මැදුරේ හෝ", "කැන්දන් යන්නම් රන් මල්", "පෙම්වතියන්නේ", "බිලිඳුනේ දරුවනේ", "නිල්ල නගන", "යෞවන උයනේ", "අම්මලා දුක් ගන්නේ", "බඹරා වගේ", "පාට පොදක් තිලකලා", "මල් වයසේ මධු සිහිනේ", "මේ අහල්ලා අහල්ලා", සහ "වාසනාව දොර ඇරලා" වැනි ගීත අදටත් රසික හදවත් තුළ නොනැසී පවතී.

නිර්මාණකරුවකු ලෙස සිනමාවේ විවිධ ඉසව් ස්පර්ශ කළ හෙතෙම "චණ්ඩි පුතා", "බඹර පැටික්කි", "මුල්ලේරියාව", සහ "ආත්මා" වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. එසේම ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කළ "යක්කල රොසලින්" චිත්‍රපටය ද ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබේ.



එක්දරු පියකු වූ සෝමපාල ලීලානන්ද මහතාගේ දේහය මේ වන විට අංක 74G, ශ්‍රී සරලංකාර මාවත, පාලගම, පොල්ගවිට පිහිටි නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (16) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.