වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අදහස් දක්වන්නන් නවීන LED විදුලි බුබුළු භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවට පැරණි තාපදීප්ත (incandescent) විදුලි බුබුළු භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. හිසරදය, කාන්සාව, ඇස්වල ආතතිය සහ නින්දට බාධා වීම වැනි ගැටලු රැසකට මෙම LED බුබුළු හේතු වන බවට ඔවුහු චෝදනා කරති.
දියවැඩියාව සහ ඇතැම් පිළිකා තත්ත්වයන් සඳහා ද නිවෙස්වල සහ සේවා ස්ථානවල භාවිතා වන LED ආලෝකය බලපාන බවට වෛද්‍ය විශේෂඥයින් පවා සැක පළ කරන අතර, බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුත් මෙම ආලෝකකරණ ක්‍රමවේදය සෞඛ්‍යයට අහිතකර බවට නවතම අධ්‍යයන මගින් සාක්ෂි මතුවෙමින් පවතී.1800 ගණන්වලදී හඳුන්වා දුන් පැරණි තාපදීප්ත විදුලි බුබුළු මගින් ආලෝකය නිපදවීමේදී තාපය ලෙස එහි ශක්තියෙන් සියයට 90ක් පමණ අපතේ යන බැවින්, කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණින් 2009 වසරේ සිට යුරෝපා සංගමය විසින් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. ඒ වෙනුවට හඳුන්වා දුන් LED බුබුළු මගින් සියයට 90ක පමණ අඩු විදුලි බලයක් වැය කරන අතර ඒවායේ කල්පැවැත්ම ද ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, LED මගින් කෙටි තරංග ආයාමයකින් යුත් නිල් පැහැති ආලෝකයක් නිකුත් කරන අතර එමගින් අවධානය වැඩි කිරීම, නින්ද ප්‍රමාද කිරීම සහ රුධිරයේ සීනි මට්ටමට බලපෑම් කිරීම වැනි දෑ සිදු විය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි.
මීට ප්‍රතිවිරුද්ධව, පැරණි තාපදීප්ත බුබුළු මගින් හිරු එළියට සමාන රතු සහ අධෝරක්ත (infrared) ආලෝකය නිකුත් කරනු ලබයි. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ග්ලෙන් ජෙෆරී පෙන්වා දෙන්නේ අපගේ සෛලවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන රතු හෝ අධෝරක්ත කිරණ LED ආලෝකය තුළ අඩංගු නොවන බවයි. වර්තමානයේ බොහෝ පුද්ගලයින් තම කාලයෙන් සියයට 90ක් පමණ ගත කරන්නේ LED ආලෝකයෙන් පිරුණු ගොඩනැගිලි තුළ වන අතර, ජනේල වීදුරු මගින් ද අධෝරක්ත කිරණ පෙරීමකට ලක් කරන බැවින් අපගේ සිරුරට ලැබෙන හිතකර දිගු තරංග ආලෝකය ඉතා අවම වී ඇත.
මෙම තත්ත්වය සෛලවල ශක්තිය නිපදවන මයිටොකොන්ඩ්‍රියා (mitochondria) වල ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපාන බවත්, එය දෙවන වර්ගයේ දියවැඩියාව, කාන්සාව, සම වයසට යාම, තරබාරුකම සහ පිළිකා වැනි රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. ආලෝකය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය අතර ඇති සම්බන්ධය සනාථ කරමින් 2024 වසරේ 'Journal of Biophotonics' හි පළ වූ අධ්‍යයනයකට අනුව, විනාඩි 15ක කාලයක් රතු ආලෝකයට නිරාවරණය වීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම සැලකිය යුතු ලෙස අඩුවන බව සොයාගෙන ඇත. මීට අමතරව, නෙදර්ලන්තයේ මාස්ට්‍රිච්ට් විශ්වවිද්‍යාලය (Maastricht University) විසින් දෙසැම්බර් 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද තවත් පර්යේෂණයකදී, දෙවන වර්ගයේ දියවැඩියාව සහිත පුද්ගලයින් දින හතරක් LED ආලෝකය යටතේත්, තවත් දින හතරක් ස්වාභාවික ආලෝකය යටතේත් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ස්වාභාවික ආලෝකය යටතේ ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම වඩාත් ස්ථායීව පැවති බවයි. LED ආලෝකය සම්පූර්ණයෙන්ම අහිතකර නොවන අතර එය දහවල් කාලයේදී සේවා ස්ථානවල අවධානය රඳවා ගැනීමට වැදගත් වන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසල් ෆොස්ටර් ප්‍රකාශ කරයි.
නමුත් සවස් කාලයේදී එහි නිල් ආලෝකයට නිරාවරණය වීම ශරීරයේ ජෛව ඔරලෝසුවට (body clock) බලපාන බැවින්, ඔහු සවස් වරුවේ පැරණි මාදිලියේ රතු ආලෝකය සහිත ලාම්පු භාවිතා කිරීමට යොමු වී ඇත. මෙම ආලෝකකරණ වෙනස හේතුවෙන් ඇතැම් පුද්ගලයින් දැඩි පීඩාවට පත්ව ඇති අතර, බරපතල ඉරුවාරදය (migraines) තත්ත්වයක් හේතුවෙන් 48 හැවිරිදි රේචල් මිචෙල් නමැති කළමනාකරණ උපදේශකවරියකට ඇයගේ රැකියාව පවා අහිමි වී තිබේ. ඇය නැවතත් පැරණි තාපදීප්ත බුබුළු භාවිතයට යොමු වීමෙන් සහ තිරය දෙස බැලීම අවම කිරීමෙන් පසු එම හිසරදය සමනය වී ඇති බව ඇය පවසයි.
(ඩේලි මේල් ඇසුරිනි)

