
ශ්‍රී ලංකාවේ විවාහක විශ්ව රූ රැජින ලෙස තෂ්මිලා පීරිස් ඔක්තෝබර් 5 වැනි සඳුදා රාත්‍රියේ අභිෂේක ලැබුවාය. ඒ කොළඹ හිල්ටන් හෝටලයේ බ්ලූ එලිෆන්ට් ශාලාවේ පැවති Mrs.Universe Sri Lanka 2026 මහා අවසන් තරගයේදීය.
මෙම ජයග්‍රහණයත් සමඟ මේ මස 18 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක තරගයේදී දිවයින නියෝජනය කිරීමේ අවස්ථාව ඇයට හිමි වේ. අංක 07 තරගකාරිය ලෙස රතු රෝස මල් කළඹක් අතින් ගෙන, රෝස පැහැති දිලිසෙන ගවුමකින් සැරසී සිටි ඇය, ප්‍රධාන කිරුළට අමතරව බොඩි බියුටි උප සම්මානය ද එම රාත්‍රියේදීම දිනා ගත්තාය.Mrs. Universe යනු විවාහක, දික්කසාද වූ හෝ වැන්දඹු, වයස අවුරුදු 18ත් 55ත් අතර කාන්තාවන් සඳහා බල්ගේරියාවේ සොෆියා නුවර මූලස්ථානය කරගනිමින් සංවිධානය වන තරගයකි. මීට සහභාගී වන කාන්තාවන්ට පවුලක් සහ වෘත්තියක් තිබිය යුතු අතර කිසියම් සමාජ අරමුණක් සමඟ සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ. මෙය Miss Universe හෝ Mrs. World තරගය නොවන අතර, 2010 වසරේදී Universe යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් Miss Universe පාර්ශවය නඩු පැවරූ අවස්ථාවේදී, එය පොදු වචනයක් බවත් තරග දෙක එකිනෙක හා නොගැටෙන බවත් Mrs. Universe පාර්ශවය තර්ක කර තිබුණි.
MR Entertainment හි සභාපති මලිත් රණසිංහ මහතා Mrs. Universe Sri Lanka හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. 49 වැනි Mrs. Universe ලෝක අවසන් තරගය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, මෙය එම තරගයේ අවසන් අදියර ලංකාවට හිමි වූ පළමු අවස්ථාවයි. 2026 තරගය මුලින්ම බොට්ස්වානාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය අවලංගු වීමෙන් පසු කොළඹ නගරය තෝරාගෙන ඇත.
ලෝකයේ විවාහක රූ රැජිනියන් සියයකට වැඩි පිරිසක් (උපරිම 120ක් පමණ) ඔක්තෝබර් 18 වැනිදා පස්වරු 3.00ට පෙර කොළඹට පැමිණීමට නියමිත අතර එදින සවස සෑෂ පැළඳවීමේ උත්සවය පැවැත්වේ. තරගයේ මූලික වටය සහ ජාතික ඇඳුම් වටය ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වෙන අතර මහා අවසන් තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පිළිගැනීම, මාධ්‍ය හමුව, සංස්කෘතික හුවමාරුව, සංචාරක සහ උරුම ස්ථාන නැරඹීම මෙන්ම පුණ්‍ය කටයුතු ද නිල වැඩසටහනට ඇතුළත් වේ.
වත්මන් Mrs. Universe රැජින වන්නේ 2025 දී 48 වැනි තරගය ජයගත් ඉන්දියාවේ ෂෙරී සිං ය. මෑත කාලීන ලෝක ජයග්‍රාහිකාවන් අතර බෙලරුසියාවේ නටාලියා ඩරොෂ්කා (2024), ඇමරිකා එක්සත් ජනපදයේ මෙරනී ගඩියානා රහ්මාන් (2023), රුසියාවේ එලේනා මැක්සිමෝවා (2022) සහ ජෝර්ජියාවේ ඇනා සිරාඩ්සේ (2021) වෙති. ගෙදර බිමේදීම ලෝක කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා තෂ්මිලා පීරිස් වෙත දැන් එම අභියෝගය පැවරී තිබේ.

